2021 ඔක්තෝබර් මාසයේ සිට දක්නට ලැබුණු ඉහළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළට

2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 73.7හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 85.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 80.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 62.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 61.3 දක්වා පහළ ගියේය.

මාසික වෙනස මගින් මනිනු ලබන ජා.පා.මි.ද. එහි මෑත කාලීනව දක්නට ලැබුණු මධ්‍යස්ථ ලෙස පහළ යෑමේ   ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.28 වාර්තා කළේය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.41කින් පහළ යෑමයි. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, සහල්, කරවල, සහ පොල් තෙල් මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑම් දක්නට ලැබුණි. එසේ වුවද, 2022 ඔක්තෝබර් මාසයේ දී සෞඛ්‍ය (ඖෂධ මිලදී ගැනීම සහ පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු), විනෝදාත්මක සහ සංස්කෘතික (අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ, හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ සියයට 0.69 මාසික ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, 2022 ඔක්තෝබර් මාසය තුළ දී ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) උප කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ යෑම ආහාර නොවන කාණ්ඩයේ සමස්ත මාසික ඉහළ යෑම සැලකිය යුතු ලෙස අඩු කිරීමට හේතු විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, November 21, 2022