ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ඔක්තෝබර්

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.2කින් පහළ යමින් 38.4ක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.

විශේෂයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන සැලකිය යුතු ලෙස පහත වැටුණු අතර, මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් ඉල්ලුම් පහල යාම හේතු විය. පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ හැකියාව අඩු වීමත් සමග මෙලෙස ඉල්ලුමෙහි සැලකිය යුතු අඩු වීමක් සිදු වූ බව ආහාර හා පාන නිෂ්පාදන අංශය නියෝජනය කරන බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කරන ලදී. තවද, විශේෂයෙන්ම උතුරු ඇමරිකානු සහ යුරෝපීය වෙළඳපොළ වෙත අපනයන සිදු කරන ඇඟළුම් අංශයේ නිෂ්පාදකයින් ඇතුළු අපනයනාභිමුඛ කර්මාන්තවල යෙදී සිටින නිෂ්පාදකයින් සදහන් කළ පරිදි, එම ආර්ථිකයින්හි මන්දගාමීත්වයක් ඇතිවෙතැයි පවතින බිය හේතුවෙන් අපනයන ඉල්ලුමෙහි ද පහත වැටීමක් වාර්තා විය. එමෙන්ම, ඉහළ යෙදවුම් පිරිවැයක් මධ්‍යයේ අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුවට ද නිෂ්පාදකයින් තවදුරටත් මුහුණ දෙමින් සිටී. තවද, 2022 ඔක්තෝබර් මාසයේ දී සේවා නියුක්තියේ පහත වැටීමක් වාර්තා වූ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදනයේ සිදු වූ පහත වැටීමට සමගාමීව තොග මිල දී ගැනුම් ද පහත වැටුණි. මේ අතර, පෙර මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝබර් මාසයේ දී ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අඩු විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, November 15, 2022