2021 ඔක්තෝබර් මාසයේ සිට දක්නට ලැබුණු අඛණ්ඩ ඉහළ යෑමේ ප්‍රවණතාව වෙනස් කරමින් කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් වාර්තා කළේය

2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3 දක්වා පහළ ගියේය. 

මාසික වෙනස මගින් මනිනු ලබන කො.පා.මි. දර්ශකය මාස දාහතකට පසුව, 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.35කින් පහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.75කින් පහළ යෑමයි. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, කරවල සහ සහල් මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑම් දක්නට ලැබුණි. එසේ වුවද, 2022 ඔක්තෝබර් මාසයේ දී සන්නිවේදන (ජංගම දුරකථන, ස්ථාවර දුරකථන සහ අන්තර්ජාල ගාස්තු), රෙදිපිළි සහ පාවහන්, ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ මාසික ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, 2022 ඔක්තෝබර් මාසය තුළ දී ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) උප කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ යෑම ආහාර නොවන කාණ්ඩයේ සමස්ත මාසික ඉහළ යෑම සැලකිය යුතු ලෙස අවම කිරීමට හේතු විය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Monday, October 31, 2022