නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කරයි

ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා 2022 මැයි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙස යළි පත් කරන ලදී. මින් පෙර, ඔහු 2016 ජුලි මාසයේ සිට 2020 මැයි මාසය දක්වා මුදල් මණ්ඩලයෙහි සේවය කළේය.

කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් තම විද්‍යාවේදී උපාධිය ලබා ගත් ඒ මහතා, එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ගරු අධි සාමාජිකයෙකි. ඔහු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පොදු සමාගමෙහි ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ සහ සමූහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමෙහි සභාපති, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ විගණන කමිටුවේ සභාපති, සී/ස ෆීනික්ස් වෙන්චර්ස් සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු සහ ආයෝජන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරයි.

වෘත්තියෙන් බැංකුකරුවෙකු වන ෆොන්සේකා මහතා, දේශීය සහ විදේශීය බැංකු සහ මූල්‍ය අංශවල ප්‍රධාන ධුරයන් කිහිපයක් හොබවා ඇත. ඒ මහතා වසර 13කට අධික කාලයක් DFCC බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, ඉන් පෙර වසර 10ක කාලයක් HSBC (ශ්‍රී ලංකා) බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් සේවය කළේය. ෆොන්සේකා මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි සහ මැනිලාහි ආසියා ශාන්තිකර මූල්‍යන සංවර්ධන ආයතන සංගමයේ සභාපති ලෙසත්, කොමර්ෂල් බැංකුවේ සහ DFCC වර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත් සේවය කර ඇත. ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ ශ්‍රී ලංකා ජාතික උපදේශන සහාවෙහි වසර 10කට අධික කාලයක් සභාපති ලෙස කටයුතු කළ අතර, එක්සත් ජනපද - ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ද වේ.

ෆොන්සේකා මහතා රාජ්‍ය සේවයේ ද විවිධ තනතුරු හොබවා ඇත. 2009 වසරේ පිහිටුවනු ලැබූ බදු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වූ ඒ මහතා, ව්‍යවස්ථාපිතව ස්ථාපනය කරන ලද ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළේය. ඒ මහතා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ ප්‍රාග්ධන වෙළඳපොළ පර්ෂදයේ සම සභාපතිවරයා ලෙසත් සේවය කළේය.

ෆොන්සේකා මහතා ලේඛන ගණනාවක් රචනා කර ඇති අතර, දේශීය මෙන්ම විදේශීය සමුළු සහ සම්මන්ත්‍රණ රැසක දේශන පවත්වා ඇත.

Published Date: 

Monday, May 30, 2022