සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද මුදල් නෝට්ටු පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පළ කරන ලද පුවත්පත් නිවේදනයේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගොඩ නැගුණු සාවද්‍ය අර්ථකථනයන් පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. ව්‍යවහාර මුදල් නෝට්ටුවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් එ මඟින් සත්‍ය සහ ව්‍යාජ මුදල් නෝට්ටු වෙන් වෙන් ව හඳුනා ගැනීමේ අරමුණත් පෙරදැරි ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිපත්තිය තුළින් රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමත් කාර්යක්ෂම මෙන් ම පිරිවැය ඵලදායී මුදල් නෝට්ටු සැකසීමේ ක්‍රියාවලියක් සඳහා පෙළඹවීමත් අපේක්ෂා කරන ලදී. 

ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම මුදල් නීති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. තවදුරටත්, ශ්‍රී ලංකා මහ බැංකුවට මෙ වැනි සිතා මතා විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ප්‍රතිස්ථාපනය වෙනුවෙන් මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කරමින් මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන ප්‍රමාණය ඉහළ දැමීමට සිදු වන අතර එ සේ නො වුව හොත් එම මහජන මුදල් වඩා වැදගත් අරමුණු වෙනුවෙන් යෙදවිය හැක. සිතා මතා විකෘති කරන, වෙනස් හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා කිසිදු ගෙවීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී නැත. 

ඒ අනුව, විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද එ වැනි මුදල් නෝට්ටු හුවමාරුව සඳහා 2017.12.31 දිනෙන් පසු ව අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමක් සිදු නො කරන බව මහජනතාවගේ දැන ගැනීම පිණිස එම පුවත්පත් නිවේදනය හරහා දැනුම් දෙන ලදී. 

එ සේ වුව ද, සිතා මතා විකෘති කිරීමක්, වෙනස් කිරීමක් හෝ හානි කිරීමකින් තොර ව මුදල් සංසරණයේ සාමාන්‍ය භාවිතයේ දී පළුදු වූ මුදල් නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා පවත්නා ක්‍රමවේදයන්ට අනුව හුවමාරු කර එහි වටිනාකම ලබා ගැනීමේ හැකියාව මහජනතාව වෙත තවදුරටත් පවතී. 

පිරිසිදු මුදල් ප්‍රතිපත්තියට අනුගත වෙමින් රටෙහි වලංගු මුදල් නෝට්ටුවල අව්‍යාජත්වය සහ වටිනාකම ආරක්ෂා කර ගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

 

Published Date: 

Monday, June 19, 2017