විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින්  “විදේශ  සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනට ලබාදෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක් වන දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට ප්‍රේෂණය කර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහා දැනට ලබා දෙනු ලබන එ.ජ. ඩොලරයකට රුපියල් 8.00 ක් වූ අමතර දිරි දීමනාව තව දුරටත් 2022.01.31 දක්වා අඛණ්ඩව ගෙවීමට තීරණය කරන ලදී. 2021 දෙසැම්බර් මස මේ දක්වා විදේශීය ප්‍රේෂණවල පෙන්නුම් කරනු ලැබූ හිතකර වර්ධනයට ප්‍රතිචාරයන් වශයෙන්, රුපියල් 10.00 ක් වූ මෙම අතිරේක දිරි දීමනාව ඉහත දැක්වූ පරිදි දීර්ඝ කිරීමට තීරණය කරන ලදි. 

තවද, විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන සහ / හෝ බැංකු (exchange houses and/ or banks) හරහා ශ්‍රී ලංකාවට තම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේදී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර ඇත. ඒ අනුව, ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් වන, ආරම්භක දිනය ද ඇතුළු, මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කරනු ඇත.

 

Published Date: 

Friday, December 24, 2021