ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම හදිසි ලෙස පහත හෙළීමේ ක්‍රියාවට රජය තරයේ විරෝධය පළ කරයි

සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවේය. මෙම ක්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය.

විශේෂයෙන් ම, 2021 වසරේ තුන්වන කාර්තුවේ දී පැනවීමට සිදු වූ ආර්ථික හා සමාජ කටයුතු සීමා කිරීමේ ක්‍රියාමර්ග මධ්‍යයේ වුව ද, මෙම කාර්තුව තුළ රටේ මූර්ත ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇති වීම වළක්වා ගැනීමට හැකි වූ අතර, නව සාමාන්‍ය තත්ත්වයට අනුවර්තනය වීමට ශ්‍රී ලංකාව සතු හැකියාව එමගින් පෙන්නුම් කෙරේ. 2021 වසරේ දී සියයට 4කට වැඩි වර්ධනයක් ඇති වීමට ඇති ප්‍රබල හැකියාව යලි තහවුරු කරමින්, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, 2021 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ දී සියයට 4.4කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වර්ධනය විය. ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව නිතර නිකුත් කෙරෙන දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයට පෙර පැවති මට්ටම අභිබවා යමින් ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීමේ ස්වභාවයකි. නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 වසරේ නොවැම්බර් මාසයේ දී 61.9ට ළඟා වූ අතර, එය නොවැම්බර් මාසයක වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් වසංගතයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ඉහළ අගයක් ගත්තේය. 2021 වසරේ දී පැවති මූලික මහජන කොටස් නිකුතු විශාල ප්‍රමාණයත් සමඟ කොළඹ කොටස් වෙළඳපොළෙහි දර්ශක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම මට්ටම් කරා ළඟා විය. පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ දී පුද්ගලික අංශය වෙත ලබා දුන් රුපියල් බිලියන 260ක පමණ ණය ප්‍රමාණයට සාපේක්ෂව, 2021 වසරේ ඔක්තෝබර් දක්වා මාස දහය තුළ දී ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 685කින් ඉහළ ගියේය.

අපනයන ඉපැයීම් වාර්තාගත ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ මැයි මාසයේ සිට වෙළඳ හිඟය මාසික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව පහළ ගියේය. වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කළ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් මෙම වාර්තාව අභිබවා ගොස් ඇති බව මූලික දත්ත මගින් පෙන්නුම් කරයි. සමපේක්ෂණ මත පදනම් වූ අපගමන කිහිපයක් හැරුණු විට, 2021 වසරේ අප්‍රේල් මාසයේ සිට විනිමය අනුපාතිකය ස්ථාවරව පැවතීමත් සමඟ අපනයන ආදායම සහ වෙනත් විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ද මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මාසිකව සංචාරක පැමිණීම්වල වේගවත් වර්ධනයක් දක්නට ලැබුණු අතර, වාර්ෂිකව රටට අහිමි වූ එ.ජ. ඩොලර් බිලියන 5ක පමණ විදේශ විනිමය ආදායමක් ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී නැවත ලැබෙමින් පවතින ස්වභාවයක් එමගින් පෙන්නුම් කෙරේ.

ශ්‍රම සංක්‍රමණය නැවත ආරම්භ කිරීම, විශේෂයෙන් ම මැදපෙරදිග වෙතින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වන ඉල්ලුම ඉහළ යෑම සහ ආකර්ෂණීය දිරිගැන්වීමේ පැකේජයක් හරහා විධිමත් මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් පහසු කිරීමට දරන ප්‍රයත්න හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ රට වෙත ලැබීම් පිළිබඳ වන අපේක්ෂා ඉතා යහපත් වේ. එවැනි ක්‍රියාමාර්ග සමඟින් විදේශීය ජංගම ගිණුමේ ශේෂය වර්ධන හිතකාමී මට්ටමින් පවත්වා ගෙන යෑමට අපේක්ෂා කරන අතර, එමගින්, උපාය මාර්ගික නොවන සහ ඌන උපයෝජිත වත්කම්වලින් අපේක්ෂිත මුදල් රැස් කිරීමට අමතරව, කොළඹ වරාය නගරයේ සහ කාර්මික කලාපවල හඳුනාගත් ව්‍යාපෘති සඳහා සෘජු ආයෝජන හරහා මූල්‍ය ගිණුම වෙත හිමිකම් ප්‍රාග්ධනය ලබා ගැනීමට ඉඩ සැලසීමට අපේක්ෂා කෙරේ. මෙම ප්‍රවණතා සහ දිවයින පුරා ක්‍රියාත්මක වන වේගවත් එන්නත්කරණ වැඩසටහන මගින් කෙටි සහ මැදි කාලීනව ආර්ථිකයේ විභවයට ළඟා වීමට හැකි වනු ඇත.

2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මගින් හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය අසමත් වී ඇත. නව බදු ක්‍රියාමාර්ග හඳුන්වා දීමත්, බදු පරිපාලනය පද්ධතියේ වැඩිදියුණු කිරීමත් සමඟ ආර්ථිකයේ පුනර්ජීවනය ද තුළින් 2022 වසරේ දී රජයේ ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ නියුතු සේවකයින්ගේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කිරීම සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ ව්‍යාපාර ශක්‍යතාව ඉහළ නැංවීමට පියවර ගැනීම සැලකිය යුතු රාජ්‍ය ප්‍රතිසංස්කරණ වන අතර, රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමට මුළු වර්ෂය සදහා දෙනු ලබන විවෘත බලය (annual warrant) කාර්තුවෙන් කාර්තුවට (quarterly warrant) නිකුත් කිරීම තුලින් මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කිරීම පිළිබඳ රාජ්‍ය ආයතන තුළ මූල්‍ය විනය ඇති කිරීම ද, ඒ හරහා රාජ්‍ය වියදම පාලනය කිරීම ද සිදු වේ. එවැනි ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා, රාජ්‍ය ණය තිරසාර මට්ටමකින් පවත්වා ගැනීමට දායක වන අන්දමින්, රාජ්‍ය මූල්‍ය හිඟය සහ රජයේ මූල්‍ය අවශ්‍යතා අඩු කිරීමට මග පෑදෙනු ඇත.

අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රතිපත්ති ගමන් මගට දේශීය වෙළෙඳපොළ ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති අතර, මූලික වැඩි වීමකින් අනතුරුව පොලී අනුපාතික වෙළඳපොල නිෂ්කාශන මට්ටමේ ස්ථාවර වී ඇත. ප්‍රාථමික වෙන්දේසි වෙළෙඳපොළ තුළ ඇණවුම් දායකත්වය ඉහළ යෑම සහ සක්‍රීය විවට වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත්වල සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබේ.

ඉදිරි මාසවල දී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද පදනම් විරහිත ප්‍රකාශවලට පටහැනිව, රජය සහ මහ බැංකුව විසින් මිත්‍ර ජාතීන්ගෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායි වෙමින් පවතින අතර, එමගින් ඉදිරි කාලය තුළ දී ගෙවුම් ශේෂය මත පීඩනය සමනය කිරීමට හැකිවේ. සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා ඉදිරිපත් කළ සය මාසික පෙර දැක්ම මගින් 2021 වසරේ දෙසැම්බර් මස වන විට සහ 2022 වසරේ මාර්තු මස වන විට අපේක්ෂිත මුදල් ප්‍රවාහ ගලා ඒම් පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම ගලා ඒම් නියත වශයෙන් ලැබෙනු ඇති බවටත් 2021 වසර අවසානය වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළින් පවතිනු ඇති බවටත් රජය සහ මහ බැංකුව නිසැකව විශ්වාස කරයි. ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් චීන මහජන බැංකුව සමඟ ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් පහසුකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනෙන අතර, එම පහසුකම ප්‍රයෝජනයට ගැනීමට නියමිතව පවතී. මෙම තීරණයට එළඹීමේ දී ඉන්දියාව සහ මැද පෙරදිග හා අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමඟ පැවති ඉහළ තලයේ රැස්වීම්වලින් පසුව බලාපොරොත්තු වන ණය පහසුකම් සහ අනෙකුත් මුදල් ප්‍රවාහ ගලා ඒම් පිළිබඳව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිසි අවධානය යොමු කර නොමැත.

ශ්‍රේණිගත කිරීමේ නිරවද්‍ය බව පරීක්ෂා කළ හැකි ප්‍රථම දිනය වන 2021 වසරේ දෙසැම්බර් 31 දින තෙක් නොසිට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ෆිච් ආයතනය තීරණය කිරීම මගින් අන් කිසිවක් නොව ඔවුන්ගේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරන අතර, මෙම පහත හෙළීම මත පදනම්ව තීරණ ගැනීමෙන් ආයෝජකයින්ට සිදු විය හැක්කේ හානියක් පමණකි. ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව සියලු ණය සේවාකරණ ගෙවීම් සිදු කරන බවට රජය පැහැදිලි සහතිකයක් ලබා දී ඇති අතර, පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික පීඩන තත්ත්ව යටතේ පවා ශ්‍රී ලංකාව එකදු ගෙවීමක්වත් ප්‍රමාද කර නොමැති බව ද සඳහන් කළ යුතුය.

එබැවින්, මෙම සාධාරණ නොවූ ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවෙන් අධෛර්යයට පත් නොවන ලෙසත්, ඒ වෙනුවට ඉදිරි දින කිහිපය තුළ පහව යෑමට අපේක්ෂිත කැළඹිලි සහිත ස්වභාවය සමනය කිරීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර ආයෝජන හවුල්කරුවන් ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිමු. සය මාසික පෙර දැක්මෙහි බලාපොරොත්තු වූ පරිදි අපේක්ෂිත විදේශ විනිමය ලැබීම්වල ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් මෙම සතියේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

Published Date: 

Saturday, December 18, 2021