ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 මැයි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 මැයි මාසයේ දී 57.9ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 16.1කින් ඉහළ යන ලදී. ඒ අනුව, අප්‍රේල් මාසයේ දක්නට ලැබුනු සෘතුමය පහළ යෑමෙන් පසු ව නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පැමිණ ඇති බව පිළිබිඹු වේ. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ යෑම හේතු විය. තව ද, සේවා නියුක්තිය උප දර්ශකය හැර අනෙකුත් සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. එ සේ නමුත්, මෙම මාසයේ 25 වන දින සිට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සේවකයන්ගේ නො පැමිණීම සහ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට වැඩි කාලයක් ගතවීම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්හි බලාපොරොත්තු වූ වර්ධනය යම් තාක් දුරට පසුබෑමකට ලක් විය. කෙසේ වුව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 අප්‍රේල්  මාසයේ දී වාර්තා වූ 54.2ක දර්ශක අගයට සාපේක්ෂ ව  මැයි මාසයේ දී, 55.3ක දර්ශක අගයක් වාර්තා කරන ලදී. සේවා අංශයෙහි පෙන්නුම් කරන මෙම මධ්‍යස්ථ වර්ධනයට නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ සේවා නියුක්තිය හේතු විය.  2017 අප්‍රේල් මාසයේ දී සේවා නියුක්තියෙහි දක්නට ලැබුණු අඩුවීමෙන් පසු, මැයි මාසයේ දී එය නැවත වැඩිවීමක් පෙන්නුම් කරන ලදී. අහිතකර කාලගුණික තත්ත්ව සහ උත්සව සමය අවසන් වීම හේතු කොට ගෙන  මැයි මාසයේ දී අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය අඩු විය.  නිම කිරීමට ඇති කාර්යයන්, සමීක්ෂණය ආරම්භයේ සිට ම නිරීක්ෂණය කළ නැඹුරු ව පවත්වාගෙන යමින් අඩුවීමක් පෙන්නුම් කළේ ය. 2017 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව මැයි මාසයේ දී  අය කරන  මිල ගණන් උප දර්ශකය, ඉල්ලුමෙහි අඩුවීමත් සමඟ ම පහත යාමක් පෙන්නුම් කෙරිණි. මේ අතර අප්‍රේල් මස සිදු කළ වාර්ෂික වැටුප් වර්ධකවලින් පසු ව 2017 මැයි මාසයේ දී, අපේක්ෂිත ශ්‍රම පිරිවැය දර්ශකය අඩු විය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Thursday, June 15, 2017