2016 දෙසැම්බර් මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 දෙසැම්බර් මාසයේ දී ද පසුගිය මාසයේ වාර්තා වූ සියයට 4.0 හි නො වෙනස් ව පැවතුණි. 

මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 නොවැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 116.6 සිට 2016 දෙසැම්බර් මාසයේ දී දර්ශක අංක 118.0 දක්වා ඉහළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, මාළු, එළවළු, අර්තාපල්, ලොකු ළුෑණු, පැපොල් සහ බිත්තර මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; ප්‍රවාහන; ආපන ශාලා සහ හෝටල්; සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; විනෝදාත්මක හා සංස්කෘතික; සහ මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයන්හි මිල ගණන් 2016 දෙසැම්බර් මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර, සෞඛ්‍ය; සන්නිවේදන; සහ අධ්‍යාපන උප කාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවතුණි. 

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී පැවැති සියයට 6.8 හි සිට දෙසැම්බර් මස දී සියයට 6.7 දක්වා පහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2016 නොවැම්බර් මස වාර්තා වූ සියයට 5.8 සිට 2016 දෙසැම්බර් මස දී සියයට 5.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Monday, January 23, 2017