ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 නොවැම්බර් මස 13 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහත හෙළීමට තීරණය කළේය. මෙම තීරණයෙහි බලපෑම සමනය කිරීම සඳහා සහ සිය මධ්‍යස්ථ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 75 කින් සියයට 8.00 දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් සියයට 9.00 දක්වාද ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.
මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා විදේශීය ආර්ථික වර්ධනයන් මෙන්ම, දේශීය මූල්‍ය වෙළඳපොළ තත්ත්වද පරීක්ෂාකාරී ලෙස සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹියේය.









2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මෙහි මූලික පරාමාර්ථය වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අනෙකුත් අදාළ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම් කටයුතු සඳහා බුද්ධිමය තොරතුරු ලබා ගැනීමයි.