LankaRemit ජංගම යෙදුම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ අත්වැල් බැඳගනී

LankaRemit නමින් හඳුන්වනු ලබන ජාතික ප්‍රේෂණ ජංගම යෙදුම (Mobile App) විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් එහි විශේෂාංගයන් හඳුන්වා දීමේ උත්සවයක් 2022 අගෝස්තු 26 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. LankaRemit ජංගම යෙදුම, විදෙස්ගත ශ්‍රමිකයන්හට ශ්‍රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ප්‍රේෂණ එවීම සඳහා ප්‍රවේශයක් ලබා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනයෙහි සහයෝගීතාවයෙන් LankaRemit ජංගම යෙදුම හඳුන්වා දුන් අතර එහි පළමු අදියර 2022 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව LankaRemit ජංගම යෙදුම පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තරව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.

LankaRemit ජංගම යෙදුම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභීන් වෙත මුදල් එවීමට විදේශ ශ්‍රමිකයන් හට හැකි වන අතර විදේශයන්හි නිකුත් කරන ලද විද්‍යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතාකිරීමෙන් විදුලිබිල් පත් හා ජලබිල්පත් ආදී උපයෝගීතා බිල්පත් ගෙවීමට ද හැකි වේ. LankaRemit ජංගම යෙදුම මගින් එය භාවිතා කරන්නන් හට අගය එකතු කළ සේවාවන් රැසක් ද සපයනු ලබයි. එ් අනුව තමාට ආසන්නතම ලියාපදිංචි මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ එම මුදල් හුවමාරු කාර්යාල පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීමටද LankaRemit ජංගම යෙදුම හරහා හැකි වේ. තවද, විදේශයන්හි මුදල් හුවමාරු සේවා සපයන්නන් හරහා ප්‍රේෂණ සිදු කළ පසු, මෙම ජංගම යෙදුම භාවිතා කරන පරිශීලකයාට ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභීන් වෙත කරන ලද සෑම ප්‍රේෂණයක්ම මුදල් හුවමාරු ක්‍රියාවලිය තුල කුමන අදියරේ පවතී ද යන්න සෙවුම් අංකයක් (tracking number) භාවිතයෙන් මෙම යෙදුම හරහා නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකා රජය හෝ අදාළ ආයතන විසින් රට තුලට මුදල් ප්‍රේෂණ කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රතිලාභ යෝජනා ක්‍රම අනාගතයේදී හඳුන්වා දෙන්නේ නම්, එවැනි ප්‍රතිලාභ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශ වීමට ද LankaRemit ජංගම යෙදුම භාවිතා කළ හැකි වනු ඇත.

LankaRemit ජංගම යෙදුම Google Play Store, Apple App Store සහ Huawei AppGallery වෙතින් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට මුදල් එවන ඕනෑම අයෙකුට බාගත (download) කල හැකිය. LankaRemit ජංගම යෙදුම හා සම්බන්ධවී සිටින මුදල් ප්‍රේෂණ සේවා සපයන්නන් අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමට පහසුකම් සැලසීම සඳහා නුදුරු අනාගතයේ දී ගෝලීය මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ ගෝලීය මූල්‍ය නවෝත්පාදකයන් (FinTechs) ඇතුළු මූල්‍ය සේවා අංශයේ තවත් සේවා සපයන්නන් මෙම යෙදුම සමඟ සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ රැකියා සඳහා පිටත් වීමට සුදානම් වන ශ්‍රමිකයින් වෙත LankaRemit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙම උත්සවයේදී ප්‍රමුඛත්වය ලබා දෙන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අමාත්‍යතුමා ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ වෙනුවට එහි උපසභාපති ඒ. ඒ. එම්. හිල්මි යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන, මූල්‍ය ආයතන සහ ගෙවීම් සේවා සපයන ආයතන කිහිපයක ප්‍රධානීන් ද මෙම උත්සවයට සහභාගි විය. ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් අතර LankaRemit ජංගම යෙදුම ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා අනුගතවීම ඉහළ නැංවීම මෙන්ම ශ්‍රී ලංකාව වෙත විදේශ ප්‍රේෂණ එවීමේදී විධිමත් ක්‍රමවේද මගින් රටතුළට මුදල් එවීමට ඇති මාර්ග භාවිතය දිරිමත් කිරීමද මෙමගින් අපේක්ෂා කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, August 26, 2022