කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

2022 ඔක්තෝබර් මාසයේ දක්නට ලැබුණු කො.පා.මි. දර්ශකයේ මාසික වෙනසෙහි අඩු වීම, 2022 නොවැම්බර් මාසයේ දී සියයට 0.50කින් තවදුරටත් පහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.53කින් පහළ යෑමයි. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, කුකුල් මස්, නැවුම් මත්ස්‍ය සහ කරවල මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑම් දක්නට ලැබුණි. එසේ වුවද, මෙම මාසය තුළ දී කිරි පිටි මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, 2022 නොවැම්බර් මාසයේ දී සෞඛ්‍ය (පෞද්ගලික රෝහල් ගාස්තු, වෛද්‍ය/ ෆාමසි නිෂ්පාදන මිලදී ගැනීම්) සහ රෙදිපිළි සහ පාවහන් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ මාසික ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, 2022 නොවැම්බර් මාසය තුළ දී ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කිරීම්/ පිළිසකර කිරීම්, එල්.පී. ගෑස්) උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ සමස්ත මාසික ඉහළ යෑම සැලකිය යුතු ලෙස අවම කිරීමට හේතු විය.

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 38.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 42.6 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 49.7හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 49.4 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 27.8හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 31.4 දක්වා ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 30, 2022