2020 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අපනයන ආදායම අඩුවීමත් ආනයන වියදම වැඩිවීමත් සමඟ 2019 ජනවාරි මාසයට සාපේක්ෂ ව 2020 ජනවාරි මස වෙළෙඳ හිඟය පුළුල් විය. 2019 අවසානය වන විට සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ බලපෑමෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුව ද, 2020 ජනවාරි මස කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තිය හේතුවෙන් එම යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ආපසු බලපෑමට ලක් විය. 2020 ජනවාරි මස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරට සාපේක්ෂ ව වැඩි වීමක් වාර්තා කළේ ය. මේ අතර, 2020 ජනවාරි මස රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර සමස්තයක් ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ ගෙවීමක් දැකිය හැකි විය. 2020 ජනවාරි මස ශ්‍රී ලංකා රුපියල සමස්තයක් ලෙස ස්ථාවර ව පැවතෙමින් එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව අතිප්‍රමාණය වුව ද කොරෝනා වසංගතය හමුවේ එක්සත් ජනපද ඩොලරය සහ ජපන් යෙන් ශක්තිමත් වීම හේතුවෙන් මාර්තු මාසයේ දී බොහෝ නැගී එන වෙළෙඳපොළ විනිමය අනුපාතිකයන්හි ප්‍රවණතාවට  සමාන ව තියුණු ලෙස අවප්‍රමාණය විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, March 30, 2020