2018 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2018 වසරේ මැයි මාසයේ දී වෙ‍ෙළඳ හිඟය තවදුරටත් පුළුල් වූ නමුත්, ආනයන වර්ධනයට වඩා අපනයන වර්ධනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීමේ වේගය සාපේක්ෂ ව අඩු විය. මාසය තුළ දී සංචාරක ඉපැයීම් තවදුරටත් වර්ධනය වූ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහත වැටුණි. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වූ ශුද්ධ විදේශීය ගෙවීම් සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ විදේශීය ලැබීම් අඩු වීම හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් මධ්‍යස්ථ මට්ටමක පැවතුණි. 2018 වසරේ මැයි මාසය අවසානයේ දී රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8ක් විය. මේ අතර, දේශීය වශයෙන් මෙන් ම ගෝලීය වශයෙන් විදේශ විනිමය වෙළෙඳපොළවල සිදු වූ වර්ධනයන් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව 2018 වසරේ මැයි මාසය අවසානය දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියයට 3.3කින් ද, 2018 ජූලි 20 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියයට 4.5කින් ද අවප්‍රමාණය විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 20, 2018