2018 නොවැම්බර් මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ සියයට 0.1 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 1.0 ක අගයක් වාර්තා කරමින් එහි පහළ යන ප්‍රවණතාව වෙනස් කරන ලදී. 2018 නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා ආහාර මිල ගණන්වල  ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට -6.6 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට -3.9 දක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ ගියේය.  

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස 2018 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේය. 

ආහාර කාණ්ඩයෙහි අයිතමවල, විශේෂයෙන් එළවළු, අමු මිරිස්, සහල්, දෙහි සහ අර්තාපල් මිලගණන් ඉහළ යෑම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස්වීම සියයට 2.2 කින් ඉහළ ගියේය. මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් ද මාසය තුළ දී ඉහළ ගිය අතර සෞඛ්‍ය උපකාණ්ඩය වැඩිම ඉහළ යෑම වාර්තා කළේය. කෙසේ වුවද, ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) උපකාණ්ඩයෙහි අයිතමවල මිලගණන් මාසය තුළ දී පහළ යෑමක් වාර්තා කළේය. 

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 3.4 හි සිට 2018 නොවැම්බර් මාසයේ දී සියයට 3.1 දක්වා පහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ දී සියයට 2.4 හි නොවෙනස්ව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, December 21, 2018