2018 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 ජුනි මාසයේ දී පැවැති සියයට 2.5ට සාපේක්ෂ ව  2018 ජූලි මාසයේ දී සියයට 3.4ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් පෙර වසරේ පැවති පහළ පදනම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිලෙහි වූ මාසික ඉහළ යෑම හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 5.3 සිට 2018 ජූලි මාසයේ දී සියයට 5.1 දක්වා පහළ ගියේ ය. 

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 ජුනි මාසයේ වාර්තා වූ දර්ශක අංක 126.5 සිට 2018 ජූලි මාසයේ දී දර්ශක අංක 126.6 දක්වා සුළු වශයෙන් ඉහළ යෑමට ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිලෙහි ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර විශේෂයෙන් ප්‍රවාහන උප අංශයට අයත් පෙට්‍රල් සහ ඩීසල් මෙන් ම විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයට අයත් අයිතම කිහිපයක් ද මේ සඳහා දායක විය. මේ අතර, මාසය තුළ දී  ආහාර කාණ්ඩයේ අයිතමවල මිල පහළ ගිය අතර, පොල්, සහල් සහ දෙහිවල කැපී පෙනෙන මිල පහළ යෑම් දක්නට ලැබිණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජුනි මාසයේ දී පැවති සියයට 1.8හි සිට  2018 ජූලි මාසයේ දී සියයට 2.3 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 ජුනි මාසයේ දී වාර්තා වූ සියයට 2.9හි සිට 2018 ජූලි මාසයේ දී සියයට 2.7 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Tuesday, August 21, 2018