2018 ජූනි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවැති සියයට 2.1ට සාපේක්ෂ ව  2018 ජුනි මාසයේ දී සියයට 2.5ක් දක්වා ඉහළ ගියේ ය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම ප්‍රධාන වශයෙන් දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 5.7 සිට 2018 ජුනි මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේ ය. 

මාසික වෙනස්වීම් සැලකූ විට විශේෂයෙන් එළවළු, නැවුම් මත්‍ස්‍ය, අමු මිරිස් සහ අර්තාපල් වැනි ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම  ජාතික පාරිභෝගික මිල දර්ශකය 2018 මැයි මාසයේ වාර්තා වූ දර්ශක අංක 124.3 සිට 2018 ජුනි මාසයේ දී දර්ශක අංක 126.5 දක්වා ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් දායක විය. මේ අතර පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තුවල සිදු වූ පරිපාලිත මිල සංශෝධන හේතුවෙන් ආහාර නො වන කාණ්ඩයට අයත් ප්‍රවාහන උප අංශයේ සැලකිය යුතු මිල ඉහළ යෑමක් දක්නට ලැබිණි. 

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 මැයි මාසයේ දී පැවති සියයට 1.7හි සිට  2018 ජුනි මාසයේ දී සියයට 1.8 දක්වා ආංශික ව ඉහළ ගියේ ය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 3.1 හි සිට 2018 ජුනි මාසයේ දී සියයට 2.9 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Monday, July 23, 2018