2018 ඔක්තෝබර් මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2016 ජනවාරි මස සිට වාර්තා වූ පහළ ම අගය වන සියයට 0.1 ක අගයක් වාර්තා කරමින් 2018 ඔක්තෝබර් මාසයේ දී තෙවන වරටත් අඛණ්ඩ ව පහළ ගියේ ය. ඉහළ ආහාර මිල ගණන් හේතුවෙන් පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති ඉහළ පදනම් අගය 2018 ඔක්තෝබර් මාසයේ දී දක්නට ලැබුණු මතුපිට උද්ධමනයේ පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය තෙවන වරටත් අඛණ්ඩ ව පහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට -6.6 ක් ලෙස වාර්තා විය. කෙ සේ වුව ද, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අඛණ්ඩ ව ඉහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට 5.8 ක් ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2018 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.0 සිට 2018 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේ ය.

ආහාර නො වන කාණ්ඩය තුළ, විශේෂයෙන් ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල්, බස් ගාස්තු සහ දුම්රිය ගාස්තු) සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩවල මිල ඉහළ යෑම් හේතුවෙන් 2018 ඔක්තෝබර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සියයට 0.4 කින් ඉහළ ගියේ ය. මේ අතර ආහාර නො වන කාණ්ඩයේ මිල ගණන් 2018 ඔක්තෝබර් මාසය තුළ පහළ ගිය අතර මාළු, බිත්තර සහ පොල් යන අයිතමවල සැලකිය යුතු මිල පහළ යෑම් දක්නට ලැබුණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 3.1 හි සිට 2018 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 ඔක්තෝබර් මාසයේ දී සියයට 2.4 හි නො වෙනස් ව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 21, 2018