සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද ශ්‍රී ලංක‍‍ා ව්‍යවහාර මුදල් නෝට්ටු

සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කිරීමේ දී මහජනතාව මුහුණ දෙනු ලබන අපහසුතා මෙන් ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එ වැනි ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කර ගැනීමේ කාල සීමාව 2018 මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හෝ වෙනස් කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ දඩ මුදලකට යටත් කිරීම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි. මුදල් නීති පනතේ රෙගුලාසි (ඊ) යටතේ සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හෝ වෙනස් කරන ලද නෝට්ටු සඳහා කිසිදු හිමිකම් පෑමක් නො ලබන අතර එ වැනි නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රඳවා ගනු ලැබේ.

ඒ අනුව, මෙ වැනි මුදල් නෝට්ටු අත දරන්නා හට 2018 අප්‍රේල් 01 සිට එම නෝට්ටුවල මුහුණත වටිනාකමෙහි අලාභය දරා ගැනීමට සිදු වේ.

තව ද, මෙ වැනි පුරුදුවලින් වළකින ලෙස මෙන් ම ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීමෙන්, හානි කිරීමෙන් හා වෙනස් කිරීමෙන් වැළකී සිටීම මගින් රටේ වලංගු මුදල් නෝට්ටුවල වටිනාකම සහ විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Published Date: 

Sunday, December 31, 2017