ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 මැයි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2018 මැයි මාසයේ දී 60.6ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2018 අප්‍රේල් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 15.1 කින් ඉහළ ගියේ ය. ඒ මඟින්, අප්‍රේල් මාසයේ දක්නට ලැබුනු සෘතුමය පහළ යෑමෙන් පසු ව නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් ව ඇති බව පිළිබිඹු වේ. මේ සඳහා, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශය සඳහා මැයි මාසය තුළ ඇති වූ නව ඇණවුම්හි ඉහළ යාම මෙන් ම, අප්‍රේල් මාසය තුළ වැඩි නිවාඩු දින ප්‍රමාණයක් පැවැතීම හේතුවෙන් නිම කළ නො හැකි වූ ඇණවුම්හි නිෂ්පාදන කටයුතු කිරීම, නිෂ්පාදන ක්‍රියාකාරකම්හි ඇති වූ ඉහළ යෑම සඳහා හේතු විය. නව ඇණවුම්, ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද මැයි මාසය තුළ ඉහළ ගියේ ය.  කෙ සේ වුව ද, රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශය සඳහා වන සේවා නියුක්ති උප දර්ශකය දර්ශක අගය වන 50.0ට වඩා අඩු මට්ටමක පැවැතුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය, මැයි මාසයේ අවසන් භාගයේ පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ආංශික ව ඉහළ ගියේ ය. එ සේ වුව ද, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, 2018 මැයි මාසයේ දී සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වර්ධනයක් පිළිඹිබු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් බව පෙන්නුම් කරයි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2018 අප්‍රේල් මාසයේ දක්නට ලැබුණු අඩු ක්‍රියාකාරකම් මට්ටමට සාපේක්‍‍‍‍‍‍‍‍‍ෂ ව මැයි මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා ක‍ළේ ය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් හා සේවා නියුක්ති අංශවල සිදු වු වර්ධනය හේතු විය. නව ව්‍යාපාර හා ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සිදු වූ වර්ධනය, විශේෂයෙන් ම මූල්‍ය, තොරතුරු සන්නිවේදන හා ප්‍රවාහන යන අංශවල දක්නට ලැබුණි. ප්‍රතිචාර දක්වන්නන් මෙම වර්ධනයට හේතු ලෙස සේවා සැපයුම් මාර්ග වැඩිදියුණු කිරීම හා තාක්ෂණික වැඩිදියුණු කිරීම හේතු ලෙස දක්වා තිබුණි. අප්‍රේල් මාසයේ සේවා නියුක්තියේ වාර්තා වූ පහළ යෑමට සාපේක්‍‍‍‍‍‍‍‍‍ෂ ව 2018 මැයි මාසයේ සේවා නියුක්තිය, වැඩි බඳවා ගැනීම් හේතුවෙන් ඉහළ ගියේ ය. ඉදිරි මාස තුන සඳහා සේවා සපයන්නන්ගේ අපේක්ෂා මධ්‍යස්ථ ලෙස වර්ධනය වූ අතර නිම කිරීමට ඇති කාර්යයන් තවදුරටත් පහළ ගියේ ය. බදු ව්‍යුහයෙහි මෑත කාලීන ව සිදු වූ සංශෝධන හා ප්‍රවාහන ගාස්තුවල සිදු වූ ඉහළ යෑම හේතුවෙන් සේවා අංශයේ අය කරන මිල ගණන් ඉහළ ගිය අතර, ඉදිරියේ දී සිදු විය හැකි වැටුප් වර්ධන හේතුවෙන් සේවා අංශයේ අපේක්ෂිත ශ්‍රම පිරිවැය ද ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, June 18, 2018