ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 අප්‍රේල්

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අප්‍රේල් මාසයේ දී 45.5ක දර්ශක අගයක් වාර්තා කරමින් මාර්තු මාසයට සාපේක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ ව දර්ශක අගයන් 20.1කින් පහත වැටුණි. පෙර වසරවල දී ද පැවැති ප්‍රවණතාවට අනුකූල ව, මාර්තු මාසයේ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේ දී අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් පසුගාමී විය. මෙ ලෙස නි‍‍ෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශක පහත වැටීම හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්ති උප දර්ශක ද අප්‍රේල් මාසයේ දී පහත වැටුණි. තව ද, සැපයුම්කරුවන්ගේ අඩු කාර්ය බහුලත්වය පිළිබිඹු කරමින් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකයේ ඉහළ යෑම අඩු විය. අවුරුදු නිවාඩුවෙන් පසු සේවකයන්, අනුමැතියකින් තොර ව සේවයට වාර්තා නො කිරීම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් බව මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වන්නන්ගේ අදහස විය. තව ද, විශේෂයෙන් රෙදිපිළි හා ඇඟළුම් අංශයේ ප්‍රතිචාර දක්වන්නන් පුහුණු සහ නුපුහුණු සේවකයන් සොයා ගැනීමේ ඇති අපහසුතාව ඉස්මතු කරන ලදී. එ නමුදු, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 මාර්තු මාසයේ දී වාර්තා වූ 58.0ක දර්ශක අගයට සාපේක්ෂ ව අප්‍රේල් මාසයේ දී 53.2ක දර්ශක අගයක් වාර්තා කළේ ය. නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයේ සිදු වූ අඩු වීමත් සමඟ, සේවා අංශය අඩු වේගයකින් වර්ධනය වූ අතර 2018 අප්‍රේල් මාසයේ දී සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පිළිබඳ සමීක්ෂණය ආරම්භයේ සිට වාර්තා වූ පහළ ම අගය වාර්තා කළේ ය. පසුගිය වසර දෙකෙහි දී දක්නට ලැබුණු පරිදි ද, මාර්තු මාසයට සාපේක්ෂ ව අප්‍රේල් මාසයේ දී, සේවා අංශය සාමාන්‍යයෙන් අඩු වර්ධනයක් පෙන්නුම් කරයි. ප්‍රධාන වශයෙන්, දේපල වෙළෙඳාම, සන්නිවේදනය සහ නවතැන් හා ආහාරපාන සැපයීම යන අංශවල නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනයේ අඩු වීමක් දක්නට හැකි විය. සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන ඇතැම් ප්‍රතිචාර දක්වන්නන්, 2018 අප්‍රේල් මාසයේ පැවති වැඩි නිවාඩු දින ගණන මෙයට හේතු ලෙස සඳහන් කර තිබුණි. පසුගිය මාස දෙකෙහි දී දක්නට ලැබුණු උපනතිය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යමින්, නිම කිරීමට ඇති කාර්යයන් පහළ ගිය අතර පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් ප්‍රමාද වීම හේතුවෙන් සේවා නියුක්තිය ද පහළ ගියේ ය. කෙ සේ වුව ද, සුබවාදී කෙටි කාලීන ව්‍යාපාර අපේක්ෂා පිළිබිඹු කරමින් අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල වර්ධනය ඉහළ මට්ටමක පැවතුණි. උත්සව සමයේ ඇති වන ඉල්ලුම් ප්‍රවණතා, ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සඳහා වන මිල සූත්‍රය පිළිබඳ අපේක්ෂා සහ බදු ව්‍යුහයේ මෑත කාලීන ව සිදු වූ සංශෝධන හේතුවෙන් සේවා අංශයේ අය කරන මිල ගණන් ඉහළ ගියේ ය. මේ අතර, ඇතැම් සමාගම්වල 2018 අප්‍රේල් මාසයේ දී සිදු වීමට නියමිත ව තිබූ වැටුප් වර්ධන සිදු වීම හේතුවෙන් අපේක්ෂිත ශ්‍රම පිරිවැය අඩු වේගයකින් ඉහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, May 15, 2018