ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය - 2020

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2019 වසරේ වාර්තා කළ 0.783 සිට 2020 වසරේ දී 0.786 දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ වුවද, ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ උපදර්ශකයෙහි වැඩිදියුණු වීමක් පෙන්නුම් කළ අතර, ‘ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය’ සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකවල පසුබෑමක් දක්නට ලැබුණි.

සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මඟින් නිරූපණය කෙරෙන උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා සැලසීම, ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයෙහි ඉහළ යෑමට දායක වී ඇත. මීට අමතරව, වසංගත සමයේ සිදු වූ කාර්මික ක්‍රියාකාරකම්වල පහළ යෑම, වාහන වායු විමෝචනය අඩු වීම සහ මහජනයාගේ සංචරණ සීමා කිරීම යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ වාතයේ ගුණාත්මකභාවය සහ පරිසරයේ පිරිසිදුකම වැඩි දියුණු වීම ද, මෙම උපදර්ශකයේ ඉහළ යෑම සඳහා හේතු වූ ප්‍රධාන නිර්ණායක ලෙස හඳුනාගෙන ඇත.

කොවිඩ්-19 වසංගතයේ අහිතකර බලපෑම් සමඟ, විධිමත් හා අවිධිමත් රැකියා කාණ්ඩ දෙකෙහිම විරැකියාව ඉහළ යාමත්, ආර්ථික ක්‍රියාකාරකම්වල දුර්වල කාර්යසාධනය හේතුවෙන් ඇති වූ දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීමත් 2020 වර්ෂය තුළ ආර්ථික සහ ව්‍යාපාරික පරිසරය උපදර්ශකයේ පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.

වසංගතය හේතුවෙන් වසර තුළ දී පනවන ලද අගුලු දැමීම් සහ සංචරණ සීමා කිරීම් සමඟ ප්‍රවාහන කටයුතු අඩු වීම සහ සෞඛ්‍ය අවදානම් හේතුවෙන් පොදු ප්‍රවාහනය භාවිතය සැලකිය යුතු ලෙස අඩුවීම සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ පහළ යෑමට ප්‍රධාන සාධක විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, December 22, 2021