ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වර්ෂයේ ජූලි 13 දින සිට 23 දින දක්වා කාලය තුළ දී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ නව ණය 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක් අනුමත කරයි

2020 වර්ෂයේ ජූලි 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා  කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.

ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මුළු ණය අයදුම්පත් සංඛ්‍යාව 26,291 දක්වා ඉහළ ගියේ ය. එසේ ම, 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද මුළු ණය ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් මිලියන 72,079 දක්වා ඉහළ ගොස් තිබේ. පහත වගුව 1 හි දක්වා ඇති පරිදි 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින ප්‍රතිලාභීන් 18,007ක් අතරේ රුපියල් මිලියන 45,777ක් මුදා හැර ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියළු ව්‍යාපාර සඳහා වාර්ෂික ව 4%ක පොලී අනුපාතයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත් ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් සහිත ව කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රජය හා එක් ව මෙම පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත. 

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්‍රතිමූල්‍ය පහසුකම් සපයනු ලබයි. ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇප සුරැකුම්වලට අදාළ ව සියයට 1ක පොලී අනුපාතිකයකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ප්‍රතිමූල්‍ය පහසුකම ලබා දෙනු ලබයි. 

ණය යෝජනා ක්‍රමයෙහි තුන්වන අදියර යටතේ ව්‍යාපාර සහ/හෝ පුද්ගලයන්ට ණය ලබා දීම සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ඔවුන්ගේ ම අරමුදල් භාවිත කළ යුතු අතර, සහභාගීත්ව මූල්‍ය ආයතනයන් වෙත ඇති වන ණය අවදානම සහ අරමුදල් පිරිවැය පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති ණය සඳහා සියයට 50 සිට සියයට 80 දක්වා ණය ඇපකරයක් සහ සියයට 5ක වාර්ෂික පොලී සහනාධාරයක් ලබා දෙනු ලබයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්  වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ඉහත ණය යෝජනා ක්‍රමය යටතේ තම ණය අයදුම්පත් 2020 අගෝස්තු මස 31 දිනට පෙර අදාළ බැංකුවලට භාර දිය හැකි ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, July 24, 2020