ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ළේය. මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම මඟින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 200 ක පමණ ද්‍රවශීලතාවක් මුදාහැරීමට අපේක්ෂා කරනු ලබන අතර, එමඟින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහ ප්‍රසාරණය කිරීමටත් හැකි වනු ඇත. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අපේක්ෂා කරන අතර, මහ බැංකුව විසින් වෙළඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්ෂණය කරමින්, අවශ්‍ය වුවහොත් වෙළඳපොළ ණය අනුපාතික අඩු වීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලබනු ඇත.

Published Date: 

Wednesday, August 9, 2023