ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දියත් කරනු ලබයි

මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ මුල පිරීම් හි උපාය මාර්ගික දිශානතිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ වෙබ් අඩවිය, 2023 අගෝස්තු මස 04 වන දින දියත් කරන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය, 2018 වසරේ සිට මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ දිගු කාලීන හවුල්කරුවෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ මූල්‍ය සහාය ඇතිව නිර්මාණය කරන ලදී. මෙම නවතම මුල පිරීම, ශ්‍රී ලංකාව සඳහා වන සමස්ත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයේ එක් කොටසක් වන අතර එ් හරහා රටේ සියලුම කුටුම්භ සහ ව්‍යවසායන් සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලදී.

මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම නව නීතිමය ප්‍රතිපාදන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති වගකීමක් වන හෙයින්, මෙම වෙබ් අඩවිය දියත් කිරීම රටතුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳව තොරතුරු මුදා හැරීම තුළින් රටේ සියලුම පාර්ශවකරුවන්ට පහසුකම් සැලසීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය එහි පරිශීලකයන්ට පරිශීලක-හිතකාමී අතුරු මුහුණතක් සමඟ අන්තර්ක්‍රියාකාරි අත්දැකීමක් ලබා දෙන අතර දැනුම්වත් සහ තාර්කික මූල්‍ය තීරණ ගැනීමට සහ පරිශීලකයින්ගේ මූල්‍ය දැනුම, ආකල්ප සහ හැසිරීම නැංවීම සඳහා වන මූල්‍ය සාක්ෂරතා මෙවලම් එනම්, ප්‍රකාශන, පුහුණුකරුවන්ගේ පුහුණු මොඩියුල, ප්‍රශ්නාවලි සහ ක්‍රීඩා යනාදියෙන් සමන්විත වේ.

මෙම වෙබ් අඩවිය සියලුම පාර්ශවකරුවන්ට තොරතුරු වෙත ප්‍රවේශ වීමේ සහ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතා මුලපිරීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ පුළුල් වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, මෙය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකාව සඳහා වූ ඉදිරි මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියමට අනුපූරක වනු ඇත.

https://www.rdd.cbsl.lk/ මෙම සබැඳිය හරහා වෙබ් අඩවිය වෙත ප්‍රවේශ විය හැක.

[වමේ සිට දකුණට: සහකාර අධිපති, ජේ. පී. ආර්. කරුණාරත්න මහතා; ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි, ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය; අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා; ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කළමනාකරු, අලෙහන්ඩ්‍රෝ අල්වරේස් ද ලා කැම්පා මහතා; නියෝජ්‍ය අධිපතිනි, කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය; ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ රත්නිජා අරන්දර මහත්මිය; සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා]

 

Published Date: 

Tuesday, August 8, 2023