ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 ජූලි

රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථාවත් වීම හේතුකොටගෙන, 2020 ජුනි මාසයට සාපේක්ෂව 2020 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක තව දුරටත් වර්ධනය විය.

ව්‍යාපාර කටයුතු යථාවත් වීමත් සමඟ නිෂ්පාදන ක්‍රියාකාරකම් ක්‍රමයෙන් පූර්ව COVID මට්ටම් කරා ළඟා වෙමින් පවතින බව පිළිබිඹු කරමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූලි මාසයේදී 64.6ක අගයක් වාර්තා කරමින් අඛණ්ඩව ඉහළ යන ලදී. නිෂ්පාදනය සහ නව ඇණවුම් උපදර්ශක වල සිදුවු ඉහළ යාම නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.

සේවා අංශයෙහි වර්ධනයක් අඛණ්ඩව දෙවන මාසයටත් පෙන්නුම් කරමින්, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2020 ජූලි මාසයේ දී 51.4ක් දක්වා ඉහළ යන ලදී. 2020 ජුනි මාසයට සාපේක්ෂව නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම මෙම වර්ධනය සඳහා දායක වූ අතර, එමගින් COVID-19 වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ සේවා අංශය තවදුරටත් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කෙරේ.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, August 17, 2020