ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) - අගෝස්තු 2023

ඉදිකිරීම් කටයුතුවල පවතින දුර්වල ක්‍රියාකාරිත්වය හමුවේ වුවද, සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 47.0ක අගයක් වාර්තා කරමින් කඩඉම් මට්ටම කරා ආසන්න විය. මෙහිදී, පවතින සීමිත ව්‍යාපෘති සඳහා ඇති අධික තරඟකාරී ටෙන්ඩර් ලංසු තැබීම් හමුවේ, සිය මිල ගණන් පහත දැමීමට සිදුවී ඇති බව සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

නව ව්‍යාපෘති නොමැති වීම ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව, නව ඇණවුම්හි අඛණ්ඩ පහත වැටීමෙන් පිළිබිඹු වේ. තවද, දේශීය මෙන්ම විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති සීමිත වීම ඉදිකිරීම් කර්මාන්තයේ තවදුරටත් පවතින ප්‍රධාන ගැටලුවක් බව, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. මෙම වාතාවරණය හමුවේ, කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයින් ඉවත් කිරීමට ව්‍යාපාර නැඹුරු වී ඇති බව සේවා නියුක්තියේ අඛණ්ඩ පහත වැටීමෙන් පිළිබිඹු වේ. තවද, පසුගිය මාසයට සාපේක්ෂව තොග මිලදී ගැනුම් අඩු වේගයකින් පහළ යන ලදී. මේ අතර, සැපයුම්කරුවන්ට ලැබෙන ඇණවුම් සීමිත බැවින්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද අඩු වී ඇත.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, September 27, 2023