විශේෂ තැන්පතු ගිණුම් සඳහා 2% ක් දක්වා වාර්ෂික අමතර පොළියක් ප්‍රදානය කිරීම අවුරුදු 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීම

විදේශ විනිමය සැලකියයුතු ප්‍රමාණයක් රට තුළට ආකර්ෂණය කර ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක ප්‍රතිඵල සලකා බලා ගරු මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහිතව, තැන්පතු තැබීමේ පළමු දිනයේ සිට මාස 24ක සමුච්ඡිත කාලපරිච්ඡේදයක් දක්වා විශේෂ තැන්පතු ගිණුම් නැවත ආයෝජනය කිරීම සඳහා අවසර ප්‍රදානය කිරීමට තීරණය කර ඇත. එලෙස නැවත ආයෝජනය කරනු ලබන විශේෂ තැන්පතු ගිණුම් රජය විසින් පිරිනමනු ලබන 2%ක් දක්වා වන වාර්ෂික අමතර පොළිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

රට තුළ ව්‍යාප්ත වූ කොවිඩි-19 (Covid-19) වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2020 අප්‍රියෙල් මස 08 වන දින විශේෂ තැන්පතු ගිණුම් හඳුුන්වාදෙන ලදී. ඒ අනුව, 2021 ජූලි මස 02 වන දින වන විට විශේෂ තැන්පතු ගිණුම්වලට ලැබී ඇති මුළු තැන්පතු ප්‍රමාණය ආසන්න වශයෙන් එ.ජ.ඩොලර් මිලියන 458 ක් වේ.

ඉහත කරුණු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝග 2021 ජුනි මස 30 දිනැති අංක 2234/19 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනවල පළ කර ඇත. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව, ඉහත සඳහන් කර ඇති තීරණ ක්‍රියාත්මක කිරීිම සඳහා අවශ්‍ය විධාන බලයලත් වෙළෙඳුන් (බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව) වෙත නිකුත් කර ඇත.

විශේෂ තැන්පතු ගිණුම් පිළිබඳ වැඩි විස්තර www.dfe.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

Published Date: 

Thursday, July 8, 2021