මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2021 ජූලි 01 සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 2.0 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

 

1. පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පිඑල්සී

දණ්ඩනය පනවන ලද දිනය : 2021 ජූලි 6

වටිනාකම (රුපියල්) :               1,000,000.00 (රුපියල් මිලියනයකි)

දණ්ඩනය පැනවීමට හේතුව:

එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වූ 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරන ලද එතැන් පරීක්ෂණයේ දී, අදාළ සියළුම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා (UNSCR) යටතේ නම් කරන ලද පුද්ගලයන්ගේ හා ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය පද්ධති සහ ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට ද, ව්‍යාපාර සම්බන්ධතාවයක් ආරම්භ කරන අවස්ථාවන්හිදී ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුකූලව ගනුදෙනුකරුවන් පිරික්සීමට ද, අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ නිකුත් කර ඇති නම් කරන ලද පුද්ගලයන්ගේ හා ආයතනවල ලැයිස්තුවක් යාවත්කාලීන වන අවස්ථාවකදී, එම නම් කරන ලද ආයතන හෝ පුද්ගලයන් සමග ව්‍යාපාර සම්බන්ධතා නොපවත්වන බවට සහතික වීම සඳහා, තම ආයතනයේ පවත්නා ගනුදෙනුකාර පදනම හෝ පවතින ව්‍යාපාරික සම්බන්ධතා පිරික්සීමට අවශ්‍ය කිසිඳු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ද පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. ආයතනය අපොහොසත් වී ඇති බව නිරීක්ෂණය කෙරිණි.

පද්ධති හා ක්‍රියාපටිපාටිවල දුර්වලතා නිරීක්ෂණය වුවද, පීපල්ස් මර්චන්ට් පී.එල්.සී. ආයතනය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා යටතේ සම්බාධක සම්බන්ධව නම් කරන ලද පුද්ගලයන් හෝ ආයතන සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේ දී අනාවරණය නොවීය. හඳුනාගනු ලැබූ දුර්වලතා නිවැරදි කිරීමට පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය විසින් ඉන් අනතුරුව කටයුතු කරනු ලැබ ඇති අතර, ආයතනයෙහි සම්බාධකවලට අදාළ පිරික්සීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

 

2. අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්

දණ්ඩනය පනවන ලද දිනය : 2021 ජූලි 12

වටිනාකම (රුපියල්) :               500,000.00 (රුපියල් ලක්ෂ පහකි)

දණ්ඩනය පැනවීමට හේතුව:

එක්සත් ජාතීන්ගේ සම්බාධකවලට අදාළ පිරික්සුම් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වූ 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවන ලදී.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදුකරන ලද එතැන් පරීක්ෂණයේ දී 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසී යටතේ නම් කරන ලද පුද්ගලයන් හා ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය පද්ධති හා ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට ද, අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ නිකුත් කර ඇති නම් කරන ලද පුද්ගලයන්ගේ හා ආයතනවල ලැයිස්තුවක් යාවත්කාලීන වන අවස්ථාවකදී, එම නම් කරන ලද ආයතන හෝ පුද්ගලයන් සමග ව්‍යාපාර සම්බන්ධතා නොපවත්වන බවට සහතික වීම සඳහා, තම ආයතනයේ පවත්නා ගනුදෙනුකරු පදනම හෝ පවතින ව්‍යාපාරික සම්බන්ධතා පිරික්සීමට අවශ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට ද, ව්‍යාපාර සම්බන්ධතාවයක් ආරම්භ කරන අවස්ථාවන්හීදී ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ රීතිවලට අනුකූලව ගනුදෙනුකරුවන් පිරික්සීමට ද අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අපොහොසත් වී ඇති බව නිරීක්ෂණය කෙරිණි.

පද්ධති හා ක්‍රියාපටිපාටිවල දුර්වලතා නිරීක්ෂණය වුවද, අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා යටතේ සම්බාධක සම්බන්ධව නම් කරන ලද පුද්ගලයන් හෝ ආයතන සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා එතැන් පරීක්ෂණයේ දී අනාවරණය නොවීය. හඳුනාගනු ලැබූ දුර්වලතා නිවැරදි කිරීමට අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ඉන් අනතුරුව කටයුතු ආරම්භ කරනු ලැබ ඇත.

 

3. සෙලාන් බෑන්ක් පී.එල්.සී

දණ්ඩනය පනවන ලද දිනය : 2021 අගෝස්තු 12

වටිනාකම (රුපියල්) :               500,000.00 (රුපියල් ලක්ෂ පහකි)

දණ්ඩනය පැනවීමට හේතුව:

මූල්‍ය බුද්ධි ඒකකය මගින් ආයතනයක් වෙත සිදු කෙරෙන තොරතුරු ඉල්ලීම්වලට ක්‍ෂණිකව අනුකූල වීමට හැකිවන පරිදි වාර්තා පවත්වාගෙන යාම, ගනුදෙනුකරුවෙකු සමග පවත්වනු ලබන ව්‍යාපාරික සම්බන්ධතාවය මුළුල්ලේම සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, නිසි අවදානම් පාලනය හරහා අවදානම් අවම කිරීමේ ක්‍රියා මාර්ග අධීක්ෂණය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි සහ පද්ධති ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත හා 2016 අංක 1 දරන මූල්‍ය ආයතන (ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියා කිරීමේ) රීතිවලට අනුකූල නොවීම සම්බන්ධව පරිපාලනමය දණ්ඩන පනවන ලදී.

මූල්‍ය බුද්ධි ඒකකය නිකුත් කරන ලද ගිණුම් අත්හිටුවීමේ නියෝගයක් යටතේ අන්තර්ගත විය යුතු එක් පුද්ගලයෙකු සමග පවත්වාගෙන යන ලද බැංකු සබඳතාවය ඇතුළත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15(2) වගන්තිය යටතේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද ගිණුම් අත්හිටුවීමේ නියෝගයට පූර්ණ වශයෙන් අනුකූල වීමට බැංකුව අසමත් වී ඇත.

ඉන් අනතුරුව බැංකුව එම දුර්වලතාවය නිවැරදි කර ඇති අතර, එවැනි වැරදි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සිය කැපවීම සහතික කරන ලදී.

Published Date: 

Tuesday, November 2, 2021