මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි නිකුත් කරන ලද අතර එය 2023.08.09 දිනැති අංක 2344/17 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය සේවා සපයන්නන් සඳහා ඒකාකාරීව අදාළ වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමු, විශේෂයෙන් බැංකු පනත, මූල්‍ය ව්‍යාපාර පනත සහ කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කර ඇති මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ විධානයන් ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. තවද, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සැලකිල්ලට ගෙන ගොඩ නගා ඇති මෙම රෙගුලාසි මඟින් ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් වැඩි දියුණු කිරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සිදු කරනු ලබන වෙළෙඳපොල හැසිරීම් අධීක්ෂණය සඳහා අවශ්‍ය පදනම ස්ථාපිත කර ඇත.

නියාමනයට ලක් වන මූල්‍ය ආයතන තම මූල්‍ය නිපැයුම් සහ සේවා ලබා ගන්නා පුද්ගලයන් සහ ව්‍යාපාරයන් හට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු වලට අදාල තීරණ ඉහළ විශ්වාසයකින් සහ මනා දැනුවත්භාවයකින් ගැනීම සඳහා උසස් සේවා මට්ටමක් සහිතව සාධාරණව හා විනිවිදභාවයෙන් ක්‍රියා කළ යුතු අතර ඒ සඳහා පාදක වන අවශ්‍යතාවයන් සහ මනා පරිචයන් ගණනාවක් මෙම රෙගුලාසිවලට ඇතුළත් වේ. එමෙන්ම, ඩිජිටල් මූල්‍ය සේවා සහ පාරිභෝගික දත්ත ආරක්ෂණ ක්ෂේත්‍රවල නවතම සංවර්ධනයන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත මූල්‍ය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ද මෙම රෙගුලාසිවලට ඇතුළත් කර ඇත. තවද, මෙම රෙගුලාසි මඟින් මූල්‍ය පාරිභෝගිකයන් හට විධිමත් අභ්‍යන්තර පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණයක් සලසා දී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ද ස්ථාපිත කෙරෙනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වරට මෙම රෙගුලාසි මඟින් වෙළෙඳපොළ හැසිරීම් අධීක්ෂණය එනම්, පාරිභෝගික ආරක්ෂණයට අදාල විශේෂිත සහ විස්තීර්ණ අධීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සපයා ඇති අතර ඊට අදාල නියාමනය සහ බලාත්මක කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය පූර්ණ බලතල ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සහ මෙම රෙගුලාසි යටතේ බලයලත් නිළධාරීන් වෙත ලබා දී ඇත.

අභියෝගාත්මක පරිසරයක් තුළ මෙම රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූලවීමට අවශ්‍ය කාලය සැලකිල්ලට ගනිමින්, මෙම රෙගුලාසි නිකුත් කළ දින සිට එනම්, 2023.08.09 දින සිට මාස 12ක් ඇතුළත ක්‍රමිකව ක්‍රියාත්මක කෙරෙනු ඇත. මහජනතාවට මෙම රෙගුලාසි වෙත මෙම දිගුව (https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/f...) හරහා ප්‍රවේශ විය හැක.

Published Date: 

Tuesday, August 22, 2023