මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පත් කරයි

ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වන දා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කර ඇත.

සිය ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු 1994 දී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වී දැනට එහි විධායක අධ්‍යක්‍ෂවරියක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන දුෂ්නි වීරකෝන් මහත්මිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කලාපීය වෙළෙඳ ඒකාබද්ධතාව සහ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ ලිපි රැසක් ලියා පළ කොට ඇත.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ පෘථුල අත්දැකීම් සහිත ඇය දැනට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙළෙඳ සහ ඵලදායිතා කොමිසමේ සේවය කරන අතර 2017 සිට 2018 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ “තිරසර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ දැක්ම:2030“ සැලසුම් කිරීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සේවය කළා ය. ඊට පෙර සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති සැලසුම් කමිටුව (2016), මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ සහ තීරුබදු කමිටුව (2004-2010), වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයේ, දකුණු ආසියාතික නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ විශේෂඥ කමිටුව (2004-2005) සහ ප්‍රතිපත්ති සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ සාර්ව සහ වෙළෙඳ ප්‍රතිපත්ති පාලන කමිටුවේ (2002-2004) ද සේවය කළා ය.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර ආර්ථික හා සමාජීය කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය යන ජාත්‍යන්තර ආයතනවල උපදේශිකාවක් ලෙස ද කටයුතු කළ ඇය 2003 සිට 2006 දක්වා කාලය තුළ ලෝක වෙළෙඳ සංවිධානය සහ හොංකොං විශ්වවිද්‍යාලය එක්ව පැවැත්වූ ආසියා-ශාන්තිකර වෙළෙඳ ප්‍රතිපත්ති පාඨමාලාවේ සම්පත් දායිකාවක ලෙස ද කටයුතු කළා ය. ස්ප්‍රින්ගර් ප්‍රකාශන ආයතනයේ දකුණු ආසියානු ආර්ථික හා ප්‍රතිපත්ති අධ්‍යයන වාර ප්‍රකාශනවල සංස්කාරකවරියක ලෙස ද දකුණු ආසියානු ආර්ථික ජර්නලයේ ප්‍රධාන සංස්කාරක ලෙස ද දකුණු ආසියානු සංවර්ධන ජර්නලයේ සංස්කාරක මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික මුඛ්‍ය වාර්තාව වන “ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය“ ප්‍රකාශනයේ සංස්කාරක ලෙස ද කටයුතු කරයි.

අධ්‍යාපනික ආයතන අතුළු ආයතන කිහිපයක ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස අත්දැකීම් ඇය සතු ය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ස්වාධීන විධායක නො වන අධ්‍යක්ෂ (2007 සිට 2016), කාගිල්ස් බැංකුවේ අධ්‍යක්ෂ (2018 – 2019), දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ (2008 – 2014), ගාමිණී කොරයා පදනම් අධ්‍යක්ෂ (2018 සිට), කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ (2018 සිට) ඒවා අතරින් කිහිපයකි.

එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සඳහා විද්‍යාවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි දුෂ්නි වීරකෝන් මහත්මිය එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගත්තා ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යත්වය ද ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ මැකේන් පදක්කම සහ ශිෂ්‍යත්වය ද මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්වය ද එක්සත් රාජධානි රජයෙන් පිරිනැමෙන ජාත්‍යන්තර පර්යේෂණ ශිෂ්‍යත්වය ද මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඩ්‍රමන්ඩ් ෆ්රේසර් පර්යේෂණ ශිෂ්‍යත්වය ද වීරකෝන් මහත්මිය විසින් දිනාගෙන ඇත.

Published Date: 

Tuesday, August 6, 2019