ජාත්‍යන්තර පොලිසිය කොළඹ ශාඛාව සමඟ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2019 ඔක්තෝබර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ජාත්‍යන්තර පොලීසියේ කොළඹ ශාඛාව සමඟ ගිවිසුමකට එළැඹිණි. ජාත්‍යන්තර පොලීසියේ තොරතුරු පද්ධතිය වෙත සෘජුවම ප්‍රවිෂ්ට වීමේ අවකාශය ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය විය.  

ජාත්‍යන්තර පොලීසියේ කොළඹ ශාඛාවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ ඩී.එම්. රූපසිංහ මහතා විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. 

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එකිනෙකට සම්බන්ධ වන මූල්‍ය අපරාධයන් වන අතර එමඟින් දේශීය මෙන් ම ගෝලීය ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවයට තර්ජනයක් එල්ල වීමේ හැකියාව ඇත.  මෙම අවබෝධතා  ගිවිසුම හරහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු අනෙකුත් නීත්‍යනුකූල නොවන කටයුතු වැළැක්වීමට, අනාවරණය කරගැනීමට හා ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට අවශ්‍ය වැදගත් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට හැකි වේ. 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා, තොරතුරු හුවමාරු කර ගැනීමේ අරමුණ පෙරදැරිව, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විට විදේශීය පාර්ශ්ව 37ක් සමඟ මෙන් ම ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යන දේශීය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇත. 

ජාත්‍යන්තර පොලීසිය කොළඹ ශාඛාවේ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩී.එම්. රූපසිංහ මහතා විසින් ගිවිසුම හුවමාරු කරන අවස්ථාව.

Published Date: 

Friday, October 18, 2019