ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා, ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට

මුදල් නීති පනතේ 8(2)(c) වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ව්යතවස්ථා සභාවේ ද අනුමැතිය ඇති ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සාමාජිකයන් තිදෙනෙකු පත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් 2020 පෙබරවාරි 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද 2020 ජූනි 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය රානි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා ද පත් කර ඇත.

 

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා

සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතිඥවරයා වන අතර දැනට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අවදානම් පිරික්සුම් කමිටුවේ සහ ආචාරධර්ම කමිටුවේ සභාපතිත්වය දරයි.

1992 දී නීතිඥ වෘත්තියට පිවිසි ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වසර 27 ක විශිෂ්ට සේවාවකින් පසු 2012 වසරේ දී ජනාධිපති නීතිඥයකු ලෙස බුහුමන් ලැබී ය. අභියාචනා නීතිය, ආණ්ඩුක්රිම ව්‍යවස්ථා නීතිය මෙන් ම පොදු නීතිය පිළිබඳ ව ද විශේෂඥ දැනුමකින් හෙබි ඒ මහතා සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු ආදී නීති ක්ෂේත්‍ර  ගණනාවක ම මනා පරිචයකින් යුතු නීති වෘත්තිකයෙකි.

2015 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ කොමසාරිස් ලෙස සංජීව ජයවර්ධන මහතා පත් කෙරුණු අතර මෑතක දී අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ද එම තනතුර සඳහා වසර 5ක ධූර කාලයක් සඳහා නැවත පත් කරන ලදි.

හිටපු අග විනිසුරු ජනාධිපති නීතිඥ සරත් එන් සිල්වා මහතා සභාපතිත්වය දැරූ ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික මණ්ඩලයේ කලින් සේවය කළ ජයවර්ධන මහතා ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කොමිෂන් සභාවේ ද සේවය කර ඇති අතර 2004 වසරේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණයන් දස දෙනා වෙනුවෙන් පිරිනැමෙන TOYP සම්මානයෙන් ද පිදුම් ලැබී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී (ගෞරව) උපාධිධරයකු වන සංජීව ජයවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයෙන් ම දර්ශනපති උපාධිය ද ලැබී ය. එසේ ම මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිය ආචාර්ය උපාධි කටයුතු නිම කරමින් සිටියි.

ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන අතර නීතිය පිළිබඳ දර්ශනපති උපාධි වැඩසටහන් පිළිබඳ විශේෂ කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. ඊට අමතර ව නීතිය පිළිබඳ පශ්චාද් උපාධි වැඩසටහනේ සහ දර්ශනපති උපාධි වැඩසටහනේ විභාග පරීක්ෂකවරයකු ලෙස ද සේවය කරන අතර ඒ මහතා ඊට අමතර ව ශ්‍රී  ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නීතිවේදී උපාධි උපදේශක මණ්ඩලයේ ද සාමාජිකයෙකි.

සංජීව ජයවර්ධන මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත ස්ටැන්ලි ජයවර්ධන මහතා ද 1989 මාර්තු 1 වන දා සිට 1994 සැප්තැම්බර් 12 වන දා දක්වා ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කර ඇත.

 

ආචාර්ය රානි ජයමහ මහත්මිය

මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස පත් වන විටත් ආචාර්ය රානි ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ විගණන උපදේශන කමිටුවේ සභාපතිනිය ලෙසත්, සීමාසහිත ඕවර්සීස්  රියැලිටි (සිලෝන්) සමාගමේ ද උපායමාර්ගික අධ්‍යන පිළිබඳ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ද මාර්ග ආයතනයේ පාලක සභාවේ ද අධ්යමක්ෂයවරියක ලෙසත් කටයුතු කරයි.

ආචාර්ය ජයමහ මහත්මිය මහ බැංකු කටයුතු, බැංකු රෙගුලාසි සහ අධීක්ෂණය, ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති, මූල්‍ය අන්තර්ග්‍රහණය මෙන් ම මුදල් සහ සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳ ව ද වසර 45කට අධික අත්දැකීම් රැසකට හිමිකම් කියන්නී ය. මහ බැංකු කටයුතු පිළිබඳ අත්දැකීම් සපිරි වෘත්තීයවේදිනියක් වූ ඇය ශ්‍රී  ලංකා මහ බැංකුවේ වසර 38ක සේවාවකින් පසු ව නියෝජ්‍ය අධිපතිවරියක ලෙස 2009 වසරේ දී විශ්‍රාම ලබද්දී මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර නියෝජ්‍ය අධිපතිනිය ලෙස සේවය කරමින් සිටියා ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් පද්ධති සහ ගිණුම් වාර්තාකරණ පද්ධති නවීකරණය කිරීමේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ ආචාර්ය ජයමහ මහත්මිය සිය මහ බැංකු සේවා කාලය තුළ දී ම ද්වීතීයනය කිරීමේ පදනම මත එවකට පැවති මූල්‍ය සහ බැංකු කටයුතු පිලිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරිය ලෙසත්, මුදල් අමාත්‍යංශයේ උපදේශකවරියක ලෙසත්, එක්සත් රාජධානියේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ විශේෂ උපදේශකවරියක ලෙසත් වරින්වර සේවය කළා ය.

එම කටයුතුවලට අමතර ව 2009 සිට 2015 දක්වා බැංකු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරියක ලෙසත්, 2011 සිට 2015 දක්වා හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙසත් කටයුතු කළ ආචාර්ය ජයමහ මහත්මිය මූල්‍ය සහ බැංකු කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ වගකීම් රාශියක් ද දරා ඇත. ලෝක බැංකුවේ දකුණු ආසියානු කණ්ඩායමේ ප්‍රධාන  උපදේශක, බංග්ලාදේශ, බෘනායි, භූතාන, ඉරාන සහ මාලදිවයින් යන රටවල මහ බැංකුවල ගෙවීම් පද්ධති පිළිබඳ උපදේශක, ලෝක බැංකුවේ ගෝලීය ගෙවීම් කණ්ඩායමේ සාමාජික, G-8 කණ්ඩායමේ ප්‍රේෂණ කටයුතු පිළිබඳ උපදේශක සහ ජාත්‍යන්තර පියවීම් බැංකුවේ ගෙවීම් පද්ධති මාර්ගෝපදේශ කමිටුවේ සාමාජික යන තනතුරු ද ඒවා අතර වෙයි.

ආචාර්ය ජයමහ මහත්මියගේ ලේඛන “The Money Pipeline – a Pillar of Financial Stability” ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර ප්‍රකාශන 35කට අධික ප්‍රමාණයක පළ වී ඇත.

ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයෙන් මුදල් සහ බැංකු කටයුතු පිළිබඳශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය සමත් වූ ජයමහ මහත්මිය එක්සත් රාජධානියේ ස්ටර්ලිං විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබාගත්තා ය. ඉන් පසු එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මුදල් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සමත් වූවා ය. ඇය එක්සත් රාජධානියේ ස්ටර්ලිං විශ්වවිද්‍යාලයෙන් පිදෙන සම්මාන ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබී ය.

 

සමන්ත කුමාරසිංහ මහතා

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ වියට්නාමය යන රටවල සමාගම් රැසක සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවන කුමාරසිංහ මහතා ප්‍රකට ව්‍යවසායකයෙකි. රුපලාවන්‍ය ද්‍රව්‍ය, රෙදිපිළි කර්මාන්තය සඳහා අවශ්‍ය  රසායන ද්‍රව්‍ය, සේදුම්කාරක, කාබනික ආහාර සහ ජීවවිද්‍යාත්මක පොහොර ආදී කර්මාන්ත අංශයේ සමාගම් රැසක් ඒවා අතර වෙයි.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයකු ලෙස සේවය කරන කුමාරසිංහ මහතා 2018 වසරේ සිට මේ දක්වා ලංකා කර්මාන්ත බලගැන්වීමේ සංසදයේ සභාපති ලෙසත්, 2016 සිට මේ දක්වා කර්මාන්ත අමාත්‍යංශයේ රුපලාවන්‍ය ද්‍රව්‍ය අංශයේ උපදේශන කමිටුවේ  සභාපති ලෙසත් සේවය කරයි. ඊට අමතර ව ඒ මහතා 2018 වසරේ සිට 2019 වසර දක්වා කාර්මීකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසත් 2012 සිට 2014 දක්වා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් 2013 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ විෂයමාලා සමාලෝචන කමිටුවේ සාමාජිකයකු ලෙසත් 2009 සිට 2010 දක්වා බදු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කළේ ය.

කොළඔ රාජකීය විද්‍යාලයේ සිප් සතර හැදෑරු සමන්ත කුමාරසිංහ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිධරයෙකි. එසේ ම ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ “හාවඩ් බිස්නස් ස්කූල්“ හි ආදි ශිෂ්‍යයෙකු ද වෙයි.

1993 දී ව්‍යවසායකයකු ලෙස සේවකයන් 12 දෙනෙකු සමග ව්‍යාපාර ක්ෂේත්‍රයට පා තැබූ කුමාරසිංහ මහතා 2008 වසරේ දී “වසරේ ව්‍යවසායකයා ලෙස“ සම්මානයට පාත්‍ර විය. රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය අගය කරමින් 2019 දී ජනාධිපති ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබී ය.

Published Date: 

Wednesday, July 15, 2020