කොවිඩ්-19 නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබා දුන් සහන තවදුරටත් දීර්ඝ කෙරේ

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්,එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම්, 2021.08.31 දින දක්වා) ලබා දී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (බලපත්‍රලාභී බැංකු) වෙත දැනුම් දෙන ලදී. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට වඩා නොඅඩු වන සේ, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබා දීමට සලකා බලන මෙන් බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා සිටී.

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් හට 2022 ජනවාරි මස සිට සිය ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම නව ණය සහන කාලය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, පවත්නා තත්ත්වය යටතේ තම සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා දිගින් දිගටම එල්ල වන බාධා හමුවේ අත්‍යාවශ්‍ය මෙහෙයුම් වියදම් දරමින් සිය තැන්පතුකරුවන්ගේ පොලී මුදල් හා තැන්පතු මුදල් නිසි කලට වේලාවට ගෙවීමේ වගකීම බලපත්‍රලාභී බැංකු විසින් නොපිරිහෙලා ඉටුකරන බව අවධාරණය කළ යුතු වේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, ණය සහන ලබා ගැනීමට සුදුසුකම් සපුරා ඇති නමුත්, ණය ආපසු ගෙවීමට හැකියාව පවතින ණය ගනුදෙනුකරුවන්ට තම පහසුකම් කල් දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටීම වෙනුවට ණය ආපසු ගෙවීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටී. තවද, බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ ධාරිතාව ගැන සැලකිලිමත් වෙමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට අනිසි පීඩනයක් ඇති නොවන ආකාරය‌ට එම ණය පහසුකම් ආපසුගෙවීම සදහා නව සැලසුම් සැකසීමට බලපත්‍රලාභී බැංකු හා සාධාරණ එකඟතාවයකට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ණය සහන සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත 2021.09.01 දින නිකුත් කරන ලද 2021 අංක 08 දරන චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ (www.cbsl.gov.lk) දක්වා ඇති අතර, සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් හට වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකුව/බැංකු හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1935 හෝ දුරකථන අංක 0112 477966 හෝ 0112 477129 ඔස්සේ සම්බන්ධ වීමෙන් ලබා ගත හැක.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, September 8, 2021