ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම සම්බන්ධයෙන් සමහර වැරදි තොරතුරු සංසරණය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පරිදි කරුණු පැහැදිලි කර සිටී.

  1. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම අවස්ථාවක දී ම අවධාරණය කරනු ලැබුවේ ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් වෙත උපරිම ප්‍රතිලාභයක් ලබා දෙන පරිදි “හඳුනාගත් වත්කම්“ සම්පූර්ණයෙන් ම අපේක්ෂිත ගැනුම්කරුවෙකුට විකිණීම සිදු කළ යුතු බවයි.
  2. මුදල් මණ්ඩලයේ ස්ථාවරය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක් වන ආයතනවල ආයෝජනය කිරීම හෝ ඒවායේ වත්කම් මිල දී ගැනීම සම්බන්ධ ඕනෑ ම සාකච්ඡාවක් අදාළ ආයතනය සමඟ සෘජු ව ම සිදු කළ යුතු බවයි. එ බැවින්, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ආයෝජනයට සහ/හෝ එහි වත්කම් මිල දී ගැනීමට අදාළ වන සියලු ම ඉල්ලීම් ආයතනය වෙතට යොමු කරන ලදී. ඒ අනුව, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් මිල දී ගනු ලබන පාර්ශ්වය තෝරා ගැනීම ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණඩලය විසින් සිදු කරන ලද අතර, තැන්පත්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරනු වස්, අදාළ වන නීති සහ රෙගුලාසිවලට යටත් ව ගනුදෙනුව සිදු කිරීම ඇතුළු විවිධ කොන්දේසි පනවමින් මුදල් මණ්ඩලය විසින් අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලදී.
  3. අපේක්ෂිත ගැනුම්කරුවන් විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 61 සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 75 දක්වා පරාසය තුළ විවිධ ලංසු තබන ලද අතර, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා කරන ලද පාර්ශ්වයට මුදල් මණ්ඩලයේ අනුමැතිය පළ කරන ලදි. එම පාර්ශ්වය ඉදිරිපත් කරන ලද ලංසුව, ඊළඟට තැබූ වැඩි ම ලංසුවට වඩා එක්සත් ජනපද ඩොලර් මිලියන 14 කින් වැඩි වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 75 ක ඉහළම ලංසුව විය. තව ද, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද එක ම පාර්ශ්වය වූයේ වත්මන් ගැනුම්කරුවායි. ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන්ට හොඳම ප්‍රතිලාභ ලබා දීමට මුදල් මණ්ඩලය විසින් එක්සත් ජනපද ‍ඩොලර් මිලියන 60 ක මුල් ලංසුව එක්සත් ජනපද ඩොලර් මිලියන 75 දක්වා ඉහළ දැමීමට මැදිහත් වන ලදී.
  4. අදාළ ගනුදෙනුව පවතින නීති සහ රෙගුලාසිවලට යටත් ව සිදු කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකු නිරන්තරයෙන් ම අවධාරණය කරන ලදී. ඒ අනුව, පිළිගත් බැංකු පද්ධතියක් මාර්ගයෙන් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත යොමු කරන ලද ගනුදෙනුවේ සෑම වාරිකයක් ම අදාළ නීති සහ රෙගුලාසිවලට යටත් ව යථායෝගී පරීක්ෂණ සිදු කර අදාළ බැංකු විසින් අරමුදල් නිශ්කාෂණය කිරීමෙන් අනතුරු ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී.

මේ වන විට, මුළු මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලියන 75 න් එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ක ප්‍රමාණයක් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත ලැබී ඇති අතර, එය මූලික වශයෙන් ආයතනයේ තැන්පතුවලින් 20% ක් ගෙවීම සඳහා භාවිතා කරන ලදී. තව ද, නොයෙකුත් හේතූන් මත පමා වූ එක්සත් ජනපද ‍ඩොලර් මිලියන 16 ක මුදල 2019 පෙබරවාරි මස තුළ ආයතනය වෙත ලැබීමට සලස්වන බව ගැනුම්කරුවා විසින් දන්වා ඇත.

Published Date: 

Monday, February 11, 2019