අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා පත් කළ උපදේශන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින් 2021 ඔක්තෝබර් මසදී, එම වකවානුව වන විට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර තිබුණු ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්’, ‘ද ෆිනෑන්ස් කම්පනි පීඑල්සී’ සහ ‘ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්’ යන අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5), පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පිහිටුවන ලදී. ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට, මුදල් මණ්ඩලය විසින් මෙම උපදේශන කමිටුව වෙත වගකීම පවරා තිබිණ.

මෙම උපදේශන කමිටුව විසින් ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතර (4)ක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් යොමු කරන ලද යෝජනා කීපයක් පරික්ෂාකාරීව සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව 2022.05.31 දින, මුදල් මණ්ඩලය වෙත යොමු කරන ලදී.

උපදේශන කමිටුව විසින් ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) සම්බන්ධයෙන් යොමු කළ වාර්තාව සලකා බැලූ මුදල් මණ්ඩලය විසින්, එම උපදේශන කමිටුව වෙත ඉදිරිපත් වී ඇති යෝජනා මඟින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටළු ඇති කරවන බවත් එම යෝජනා පවතින නෛතික රාමුව තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සටහන් කර ඇත. තවද, පවතින ආර්ථික තත්ත්වය යටතේ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි කිසිඳු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයන්ගෙන් ඉදිරිපත් නොවනු ඇති බවට උපදේශන කමිටුව විසින් අපේක්ෂා කරනු ලැබේ. මෙම තත්ත්වයන් යටතේ ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) අතරින්, දැනටමත් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මූල්‍ය සමාගම්හි ඈවර කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ එසේ ඉල්ලුම් කර නොමැති මූල්‍ය සමාගම් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කිරීම, පවතින එකම විකල්පය ලෙස හඳුනාගෙන ඇත. ඉහත කරුණු අනුව, උපදේශන කමිටුවේ වාර්තාව මඟින් එකී කමිටුව විසුරුවා හැරීමට නිර්දේශ කර ඇත. උපදේශන කමිටුවේ නිර්දේශය පදනම් කරගනිමින් මුදල් මණ්ඩලය විසින් එකී උපදේශන කමිටුව විසුරුවා හැරීමට තීරණය කරන ලදී.

මේ අනුව, අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ (5) ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇත.

Published Date: 

Tuesday, June 28, 2022