ආචාර්ය දුෂ්නි වීරකෝන්

ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2023 සැප්තැම්බර් 21 වන දා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කර ඇත.

සිය ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු, 1994 දී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වී දැනට එහි විධායක අධ්‍යක්‍ෂවරියක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කලාපීය වෙළෙඳ ඒකාබද්ධතාව සහ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ ලිපි රැසක් ලියා පළ කොට ඇත.ඇය වර්තමානයේ දී ස්ප්‍රින්ගර් ප්‍රකාශන ආයතනයේ දකුණු ආසියානු ආර්ථික හා ප්‍රතිපත්ති අධ්‍යයන වාර ප්‍රකාශනවල සංස්කාරකවරියක ලෙස ද දකුණු ආසියානු ආර්ථික ජර්නලයේ ප්‍රධාන සංස්කාරක ලෙස ද දකුණු ආසියානු සංවර්ධන ජර්නලයේ සහ වයිලී ජාත්‍යන්තර සංවර්ධන ජර්නලයේ සංස්කාරක මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික මුඛ්‍ය වාර්තාව වන “ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය“ ප්‍රකාශනයේ සංස්කාරක ලෙස ද කටයුතු කරන්නීය. 

මින් පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙහි (2019-2020) පත් කළ සාමාජිකයෙකු ලෙස සේවය කළ ඇය හට, ආර්ථික ස්ථායීකරණ, ප්‍රතිසාධනය සහ ප්‍රවර්ධනය පිළිබඳ කමිටුවෙහි සාමාජිකාවක සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙහි අධ්‍යක්ෂිකාවක ලෙස ද ඇතුළුව, වශයෙන් සංස්ථාපිත ආයතනික මණ්ඩලයන්හි ශ්‍රී ලංකා රජයෙහි ප්‍රතිපත්ති සංවර්ධන කමිටු සමඟ කටයුතු කිරීමෙන් පෘථුල අත්දැකීමක් සතු වේ. ඇය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (2007-2016) සහ කාගිල්ස් බැංකුවේ (2018-2019) විධායක නොවන අධ්‍යක්ෂවරියක වශයෙන් සංස්ථාපිත ආයතනික මණ්ඩලයන්හි මෙන්ම, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ පර්යේෂණ කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂවරියක සහ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් සරසවියේ සංවර්ධන ආර්ථික විද්‍යාව සහ තිරසරබව සඳහා වන උපදේශන මණ්ඩලය ඇතුළු අධ්‍යාපනික ආයතනවල අධ්‍යක්ෂ තනතුරු දරා ඇත. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ලෝක වෙළෙඳ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන වෙත උපදේශිකාවක ලෙස ද ඇය කටයුතු කර ඇත.  

එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට්හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සඳහා විද්‍යාවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි දුෂ්නි වීරකෝන් මහත්මිය එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගත්තා ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යත්වය ද ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ මැකේන් පදක්කම සහ ශිෂ්‍යත්වය ද මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්වය ද එක්සත් රාජධානි රජයෙන් පිරිනැමෙන ජාත්‍යන්තර පර්යේෂණ ශිෂ්‍යත්වය ද මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඩ්‍රමන්ඩ් ෆ්රේසර් පර්යේෂණ ශිෂ්‍යත්වය ද වීරකෝන් මහත්මිය විසින් දිනාගෙන ඇත.