එස්. ආර්. ආටිගල

එස්. ආර්. ආටිගල මහතා 2019 නොවැම්බර් මස 19 දා සිට බලපැවැත්වෙන පරිදි මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් වූ අතර එම පත්වීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති හා සහකාර අධිපති ධුරයන් හෙබ වූ අතර මුදල් අමාත්‍යාංශය වෙත මුදා හරින ලදුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු ලෙස සේවය කළේය. ආටිගල මහතා 2018 ඔක්තෝබර් මස 31 වැනි දින සිට දෙසැම්බර් මස 18 වැනි දා දක්වා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

ආටිගල මහතා එක්සත් රාජධානියේ, වෝවික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.

ආටිගල මහතා 2003 වසරේදී මුදල් අමාත්‍යාංශය වෙත මුදා හරින ලද අතර, ඒ වන තෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් සේවය කළේය. ඔහු මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය හා රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළුව තනතුරු කිහිපයක කටයුතු කොට ඇත. එහිදී ලබා ගත් පරිචය ආටිගල මහතාට රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රවීනතාව ලඟා කර ගැනීමට උපකාරි විය.

ආටිගල මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර භාණ්ඩාගාරය නියෝජනය කරමින් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යවස්ථාපිත මණ්ඩල රාශියක අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර ඇත.