ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති

ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, විදේශ විනිමය කළමනාකරණ, ව්‍යවහාර මුදල් කළමනාකරණ, ගෙවීම් සහ පියවීම් පද්ධති යන ක්ෂේත්‍රයන්හි විශේෂ පළපුරුද්දක් දරයි. මෙම කාලය තුළ ඇය බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ විනිමය පාලක ලෙස සේවය කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා මනා පරිචයන්ට අනුකූල ව බැංකු සඳහා ශක්තිමත් නියාමන රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා නායකත්වය ලබා දීම මගින් මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළා ය.

ප්‍රනාන්දු මහත්මිය මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව, අන්තර් නියාමන ආයතන කවුන්සිලය සහ ජාතික ගෙවීම් කවුන්සිලයෙහි නිල බලයෙන් සාමාජිකත්වය දරමින් එම කමිටුවල අරමුණු සහ පරමාර්ථයන් වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයී ය.  ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම, සීමාසහිත ජීකේ හොස්පිට්ල්ස්, සීමාසහිත ජෙට්වින් සිම්පනි යන ආයතනවල අධ්‍යක්ෂකවරියක ලෙසත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ යහපාලන නීති සංග්‍රහය සමාලෝචනය සඳහා පත් කළ කමිටුවේ, නිදහස් වෙළෙඳ ගිවිසුම් ගනුදෙනු සඳහා ආයෝජනය කිරීම පිළිබඳ උප කමිටුවේ සහ අග්නිදිග ආසියාතික මහ බැංකුවල (SEACEN) පුහුණු කිරීම් පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකාවක ලෙසත් ඇය කටයුතු කර ඇත.

ප්‍රනාන්දු මහත්මිය විසින් වර්තමානයේ දී බැංකු අධීක්ෂණ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ, ගෙවීම් සහ පියවීම්, ව්‍යවහාර මුදල්, විදේශ විනිමය, මූල්‍ය කටයුතු, ප්‍රාදේශීය සංවර්ධන සහ සේවක අර්ථසාධක අරමුදල් යන දෙපාර්තමේන්තුවල කටයුතු අධීක්ෂණය කරනු ලබන අතර, මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව, ශ්‍රී ලංකාවේ තිරසර මූල්‍ය සඳහා වන පෙර දැක්ම ක්‍රියාත්මක කිරීමේ පාලන කමිටුව මෙන් ම, ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනිය වශයෙන් ද කටයුතු කරන්නී ය. තවද ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සභාපතිනිය ලෙස ද කටයුතු කරන අතර, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අපි වෙනුවෙන් අපි අරමුදලෙහි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකාවක වශයෙන් ද කටයුතු කරයි.

ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද ලබා ඇත.