කේ.ඩී. රණසිංහ

නියෝජ්‍ය අධිපති

කේ.ඩී.රණසිංහ මහතා 2017 අප්‍රේල් මස 30 වැනි දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත්කරන ලදී. රණසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයෙන් (Michigan State University, USA) ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ඇත.  
ඔහු දැනට සේවක අර්ථසාධක අරමුදල, මානව සම්පත්, පුහුණු හා සංවර්ධන, බැංකු වදු පියෙස, පහසුකම් කළමනාකරණ, කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ, ප්‍රාදේශීය සංවර්ධන, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධීක්ෂණ සහ ප්‍රාදේශීය කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර  නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරයි.
කේ.ඩී.රණසිංහ මහතා මහ බැංකු සේවයෙහි වසර 31 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ආර්ථික හා මිල ස්ථායීතාව සහ මහ බැංකුව විසින් ඉටු කරනු ලබන අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳව විශේෂ පළපුරුද්දක් දරයි.  රණසිංහ මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට පෙර සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම්, දේශීය කටයුතු, සේවක අර්ථ සාධක අරමුදල්, මානව සම්පත් සහ පහසුකම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා විය.  සහකාර අධිපති තනතුරට උසස් වීමට පෙර රණසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවය කළේය.  අභ්‍යන්තර අරමුදල් කළමනාකරණ කමිටුවේ හා සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුවෙහි සභාපතිවරයා ලෙස සහ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික‍යෙකු ලෙස ද ඔහු කටයුතු කරයිග
තම දිගු කාලීන මහ බැංකු සේවා කාලය තුළ ඒ මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික ආකෘතිකරණය, මුදල් ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍යය, ණය කළමනාකරණය සහ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් රැසකට සහභාගි වී ඇති අතර ඔහු 2012 අගෝස්තු සිට 2015 අප්‍රේල් දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස සේවය කළේය.  
රණසිංහ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ වත්මන් උප සභාපති ලෙස කටයුතු කරයි.  තවද, ඔහු ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල සහ කමිටු කිහිපයක සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සහ එච්.ඩී.එෆ්.සී. බැංකුවේ (HDFC) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.  මීට අමතරව, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ ජාතික සහ ජාත්‍යන්තර සමුළු රැසකට සහභාගි වී ඇත.  ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වීමට පෙර රණසිංහ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේත්, කථිකාචාර්යවරයෙකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේත් සේවය කර ඇත.
රණසිංහ මහතා රාජ්‍ය මූල්‍යය, වර්ධනය සහ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් යන ක්ෂේත්‍රයන්හි පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන අතර අග්නිදිග ආසියාතික මහ බැංකු (SEACEN) සහ ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන වෙනුවෙන් ඒ පිළිබඳ ලිපි ලියා ඇත.  තවද, රණසිංහ මහතා විවිධ සම්මන්ත්‍රණ සඳහා ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් මාතෘකා යටතේ ඉදිරිපත් කිරීම් රැසක් සිදු කර ඇත.