එස්. ආර්. ආටිගල

නියෝජ්‍ය අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 27 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර ඇති එස්.ආර්.ආටිගල මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර සහකාර අධිපති ධුරය හෙබ වූ අතර මුදල් අමාත්‍යංශය වෙත මුදා හරින ලදුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු ලෙස සේවය කළේය. ආටිගල මහතා 2018 ඔක්තෝබර් මස 31 වැනි දින සිට භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කර ඇත.

ආටිගල මහතා එක්සත් රාජධානියේ, වොරික් විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ඇත.

ආටිගල මහතා 2003 වසරේදී මුදල් අමාත්‍යංශය වෙත මුදා හරින ලද අතර, ඒ වන තෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් සේවය කළේය. ඔහු මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය හා රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල් ධුරය ඇතුළුව තනතුරු කිහිපයක කටයුතු කොට ඇත. එහිදී ලබා ගත් පරිචය ආටිගල මහතාට රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රවීනතාව ලඟා කර ගැනීමට උපකාරි විය.

ආටිගල මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර භාණ්ඩාගාරය නියෝජනය කරමින් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර හා ව්‍යවස්ථාපිත මණ්ඩල රාශියක අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර ඇත. තවද, ඒ මහතා චීන-ශ්‍රී ලංකා නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ජා සඳහා පත් කරන ලද තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා ලෙස මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද වෙනත් ප්‍රධාන කමිටු කිහිපයකම භාණ්ඩාගාරය නියෝජනය කරමින් කටයුතු කර ඇත.