ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

අධිපති

2016 ජූලි මස සිය රාජකාරි කටයුතු ඇරඹූ වත්මන් අධිපති ආවාර්ය කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ දහහතර වන අධිපතිවරයා ය. 

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගනිමින් තම පළමු උපාධිය හිමි කර ගත් ආචාර්ය කුමාරස්වාමි, සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය. ඔහු 1974 වසරේ දී මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ලංකා මහ බැංකුවට සම්බන්ධ විය. 

වසර පහළොවක කාලයක් මහ බැංකුවේ සේවය කළ ආචාර්ය කුමාරස්වාමි, ආර්ථික පරයේෂණ, සංඛ්‍යාන හා බැංකු අධීක්ෂණ යන දෙපාර්තමේන්තුවල සේවය කළේ ය. 1981 – 1989 කාලය තුළ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ සේවය සඳහා ඔහු මහ බැංකු සේවාවෙන් මුදා හරින ලදී.

1990 – 2008 කාලය තුළ පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානී, මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සමාජ පරිවර්තනය සඳහා වූ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂ යන ඉහළ තනතුරු හෙබවූ ආචාර්ය කුමාරස්වාමි වසර 2013 සිට 2015 දක්වා ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයකු ලෙස ද වසර 2015 සිට 2016 කාලය තුළ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේ ය. 

ආචාර්ය කුමාරස්වාමි ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ හා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ ය. ඊට අමතර ව ඔහු ශ්‍රී ලංකාවේ පර්යේෂණ ආයතන ගණනාවකට ම සිය සේවය ලබාදෙන ලදී. 

ආචාර්ය කුමාරස්වාමි දක්ෂ ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ජාතික රග්බි  කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔහු 1974 වසරේ ජපානයේ පැවති ආසියානු රග්බි තරගාවලියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එම කණඩායමට දෙවන ස්ථානය ලබාගැනීම සඳහා නායකත්වය දුන්නේ ය. ආචාර්ය කුමාරස්වාමි විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු ද වේ.