දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් (2004 – 2006)

Deshamanya Sunil Mendis

දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් ශ්‍රී ලංකා මහ බැංකුවේ එකොළොස්වන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 2004 ජූලි මස සිට 2006 ජූනි මස දක්වා එම තනතුර හොබවන ලදී. 

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු Association of Certified and Corporate Accountants (UK) හි වෘත්තීමය විභාගයේ කොටස් 1 සිට 3 දක්වා සම්පූර්ණ කළ අයෙකි. මහ බැංකු අධිපතිවරයා වීමට පෙර හේලීස් සමාගම් සමූහයේ වසර 42ක් සේවය කළ දේශමාන්‍ය මෙන්ඩිස්, එහි සභාපතීත්වය හා ප්‍රධාන විධායක නිලධාරී තනතුර ද හෙබවී ය.  ශ්‍රී ලංකාවේ විශාලතම හා පැරණිතම සමාගම් සමූහයක් වන හේලීස් සමාගම අපනයන, ආනයන, නැව්ගත කිරීම්, වැවිලිකරණය, කෘෂිකර්ම හා විනෝදාස්වාද කටයුතු සම්බන්ධ ව කටයුතු කරයි.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන 100කට අධික ප්‍රමාණයක හා විදේශීය ආයතන 7ක අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් 1994 – 2004 දක්වා ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. ඔහු අධ්‍යක්ෂක ධූර හෙබ වූ ආයතන අතර 1997 – 2000 හා 2002 – 2004 දක්වා Private Sector Infrastructure Development Company Ltd. (PSIDC), 1995 – 2001 දක්වා අපනයන සංවර්ධන මණ්ඩලය, 1994 ආයෝජන මණ්ඩලය සහ 1998 – 2004 දක්වා එක්සත් ජනපද - ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම යන ආයතන වේ. තව ද, 2004 – 2005 දක්වා ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික කවුන්සිලයේ අධ්‍යක්ෂ, මූල්‍ය කොමිසමේ අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ අතර ශ්‍රී ලංකා රජයට ස්වෛරී ශ්‍රේණිගත කිරීමක් ලබාගැනීම සඳහා වූ ස්වෛරී ශ්‍රේණිගත කිරීමේ කමිටුවේ සභාපති ලෙස ද සේවය කළේ ය. 

ශ්‍රී ලංකා රජය විසින් 2005 වර්ෂයේ දී ඔහුට දේශමාන්‍ය ගෞරව නාමය ප්‍රදානය කරන ලදී.