ජෝන් එක්ස්ටර් (1950 – 1953)

John Exter

ජෝන් එක්ස්ටර් මහතා මහ බැංකුවේ පළමුවන අධිපතිවරයා වූ අතර 1950 අගෝස්තු මස 28 දා සිට 1953 ජූනි මස දක්වා ඔහු එම තනතුර හෙබවී ය.

ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතා කොලේජ් ඔෆ් වුස්ටර් හි උපාධිධාරියෙකි.  ඉන්පසු නීතිය හා රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යයනය පිළිබඳ ෆ්ලේචර් විද්‍යාලයේ ද ශාස්ත්‍ර හැදෑරීමෙන් අනතුරු ව, 1930 ගණන්වල ඇති වූ  මහා ආර්ථික අවපාතය කෙරෙහි ඔහු දැක්වූ උනන්දුව නිසා ම හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ආර්ථික විද්‍යාව විෂය හැදෑරීමට පෙළඹුනි.  ඉන් අනතුරු ව හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම ආරම්භ කර මුදල් හා බැංකුකරණය පිළිබඳ විශේෂඥයෙකු විය. පසු ව ඔහු ෆෙඩරල් සංචිත පද්ධතියට සම්බන්ධ වී ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ ය.

ලංකා රජය විසින් මහ බැංකුවක් ස්ථාපනය කිරීම උදෙසා අවශ්‍ය විශේෂඥ තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට ඇමරිකාවෙන් කළ ඉල්ලීමකට අනුව, එක්සත් ජනපද ෆෙඩරල් සංචිත මණ්ඩලය මගින් එම කාර්යය සඳහා ජෝන් එක්ස්ටර් මහතා නම් කළ අතර ඔහු ලංකා මහ බැංකු අධිපති ධුරයට පත් වීමට ප්‍රථම පිලිපීන මහ බැංකුව ආරම්භ කිරීමට ද සිය දායක්තවය සපයා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව 1950 වසරේ දී එක්ස්ටර් මහතා විසින් සැකසූ එක්ස්ටර් වාර්තාවේ නිර්දේශවලට අනුකූල ව ස්ථාපනය කෙරුණු අතර ප්‍රථම අධිපතිවරයා ලෙස ඔහුගේ මූලික රාජකාරිය වූයේ මහ බැංකුව ස්ථාපනය කොට අවශ්‍ය සේවකයන් බඳවා ගෙන බැංකුවේ ප්‍රථම වසර කිහිපයේ කටයුතු සඳහා සිය නායකත්වය සපයා දීමයි.  එක්ස්ටර් මහතා වසර තුනකට පසු ව අධිපති ධුරය ලාංකිකයකු වෙත භාර දී වසරක කාලයක් ලෝක බැංකුවේ සේවය කර නැවතත් ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ උප සභාපති ලෙස කටයුතු  කළේ ය. ඉන්පසු ෆර්ස්ට් නැෂනල් සිටි බෑන්ක් (සිටි බැංකුව) හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස 1960 සිට 1972 දක්වා කටයුතු කළ ඔහු එහි දී මහ බැංකු හා රජයන් සමඟ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීම පිළිබඳ වගකීම දැරුවේ ය.

1972 වර්ෂයේ විශ්‍රාම ලත් ඔහු, පෞද්ගලික උපදේශන කටයුතු අරඹා ඇත.