එච්. ඊ. තෙන්නකෝන් (1971 – 1979)

හර්බට් අර්නස්ට් තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සයවන අධිපතිවරයා ලෙස 1971 ජූලි මස රාජකාරි කටයුතු ඇරඹූ අතර සේවයේ යෙදි සිටිය දී 1979 ජනවාරි මස 22 දා සිංගප්පූරුවේ සියසන් අධිපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගී වීමට ගොස් සිටි අතරතුර දිවියෙන් සමු ගත්තේ ය.

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපන ලැබූ එච්.ඊ. තෙන්නකෝන් මහතා ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් හිමිකර ගත්තේ ය.  ඉන් අනතුරු ව ඔහු ලංකා සිවිල් සේවයට එක් විය.

ඉන් පසු මහා භාණ්ඩාගාරයේ සේවයට එක් වූ තෙන්නකෝන් මහතා භාණ්ඩාගාර ලේකම් හා ආරක්ෂක හා බාහිර කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ලෙස කටයුතු කළේ ය.  1959 වසරේ දී ජිනීවා හි පිහිටි  ගැට් සංවිධානයේ ලංකා නියෝජිතවරයා ලෙස පත්වීමක් ලද තෙන්නකෝන් මහතාට 1964 දී එහි විධායක ලේකම්වරයාගේ වෙළෙඳ හා සංවර්ධන කටයුතු පිළිබ‍ඳ විශේෂ උපදේශක තනතුර හිමි වීම නිසා 1964 දී භාණ්ඩාගාර ලේකම් තනතුරින් ඉවත් විය. ගැට් හා යුරෝපා ආර්ථික සංසදය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණ ද  ඇතුළු ව ඔහු ජිනීවා, මැනිලා, ටෝකියෝ යන රටවල සම්මන්ත්‍රණ සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී විය.

ජපානයේ ශ්‍රී ලංකා තනාපති පදවිය දැරීමෙන් අනතුරු ව 1971 වර්ෂයේ ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස රාජකාරී කටයුතු ඇරඹී ය.