නිති අසන පැන  (FAQs)

නිරාකරණය

නිරාකරණය

1. මූල්‍ය ආයතනයක නිරාකරණය යනු කුමක් ද? 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය නිරාකරණ බලතල හරහා, මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කරමින් සහ බදු ගෙවන්නන්ගේ අවම පිරිවැය සහතික කරමින් මූල්‍ය ආයතනයක අත්‍යවශ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම්වල අඛණ්ඩතාව ඇතුළු මහජන අභිලාෂ සුරක්ෂිත කිරීම සඳහා මූල්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීම නිරාකරණය ලෙස හැඳින්වේ. 

2. නිරාකරණයේ අරමුණු මොනවා ද? 

මූල්‍ය ආයතනයක නිරාකරණය මගින්:

ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධතිය ඇතුළු ව මූල්‍ය පද්ධති ස්ථායීතාව;

මූල්‍ය ආයතනයක අත්‍යවශ්‍ය මෙහෙයුම්වල අඛණ්ඩතාව;

මහජන මූල්‍ය සහයෝගය අවම කරමින් මහජන අරමුදල්වල ආරක්ෂාව;

යම් මූල්‍ය ආයතනයක තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව; සහ

වත්කම් වටිනාකම විනාශ වීම වැළැක්වීම, ණය හිමියන්ට වන අලාභ අවම කිරීම සහ එවැනි මූල්‍ය ආයතනවල සමස්ත නිරාකරණ පිරිවැය අවම කිරීම සහතික කිරීම අවශ්‍ය වේ. 

 

3. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් නිරාකරණය කිරීමේ දී භාවිත කෙරෙන නීති මොනවා ද? 

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත; 

2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත; සහ

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. 

4. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන නිරාකරණයේ වගකීම දරන්නේ කවුරුන් ද? සහ එම ආයතනය විසින් ආවරණය කෙරෙන මූල්‍ය ආයතන මොනවා ද? 

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව, මූල්‍ය ආයතනයක් නිරාකරණය සඳහා වගකිව යුතු අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ, බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණය කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව යනු නිරාකරණ අධිකාරියට අදාළ ව  ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල, රාජකාරි සහ කාර්යයන් සුදුසු සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ ඉටු කරවා ගැනීම සඳහා, බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ ස්ථාපිත කර ඇති දෙපාර්තමේන්තුව යි. ඒ අනුව, බලපත්‍රලාභී බැංකු නිරාකරණය සහ වසා දැමීම තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පවරා ඇත. කෙසේ වුව ද, මුදල් ව්‍යාපාර පනතට අදාළ ව යෝජිත සංශෝධන බලාත්මක වන තෙක් බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණය සහ වසා දැමීම, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් අඛණ්ඩ ව සිදු කරනු ඇත. බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණ රාමුව ශක්තිමත් කිරීමත් අදාළ මෙහෙයුම් තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමත් මෙම සංශෝධන මගින් අපේක්ෂා කෙරේ. 

5. මූල්‍ය ආයතන නිරාකරණයේ දී රජයේ මැදිහත් වීමක් සිදු වන්නේ ද? 

ඔව්. ශ්‍රී ලංකා මහ බැංකුවට සහ ශ්‍රී ලංකා රජයට මූල්‍ය ආයතන නිරාකරණය සඳහා විසඳුම් ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි ය. නිරාකරණ ක්‍රියාවලිය සඳහා මහජන මුදල් අදාළ වන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසඳුම් තීරණ ගැනීමේ දී මුදල් විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ යුතු ය. කෙසේ වුව ද, යම් මූල්‍ය ආයතනයක බිඳ වැටීම පද්ධතිමය වැදගත්කමක් හෝ බලපෑමක් ඇති කළ හැකි බව රජයේ මතය වන්නේ නම්, එවැනි මූල්‍ය ආයතන නිරාකරණය කිරීමේ බලය රජය සතු වේ. එවැනි බලපත්‍රලාභී බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය හෝ තාවකාලික ව රජයේ අයිතියට පවරා ගැනීමට රජයට හැකි ය.  

6. නිරාකරණ අධිකාරියට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල, රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීමේ දී සහ ඉටු කරවා ගැනීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිල්ලට ගත යුතු කරුණු මොනවා ද? 

ශ්‍රී ලංකා මහ බැංකුව, නිරාකරණය කෙරෙන මූල්‍ය ආයතනවල ආකෘතිය, පරිමාණය, සංකීර්ණතාව, අනෙකුත් ආයතන සමග පවතින අන්තර් සබඳතා සහ එහි අවදානම් ව්‍යුහය සැලකිල්ලට ගත යුතු ය.  

7. අධීක්ෂණය සහ නිරාකරණය අතර වෙනස කුමක් ද? 

අධීක්ෂණය යනු මූල්‍ය අස්ථායීතාව වැළැක්වීම අරමුණු කර ගත් පූර්ව සහ අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර, නිරාකරණය යනු මූල්‍ය පීඩන වැළැක්වීමේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන විට මූල්‍ය පීඩන අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රතික්‍රිය සහ අර්බුද කළමනාකරණ ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලි ද්විත්වය ම මූල්‍ය නියාමනයේ අත්‍යවශ්‍ය සංචරක වන අතර ඒවා මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථායීතාව සඳහා දායකත්වය සපයයි.  

8. ප්‍රතිසාධන සැලැස්මක් යනු කුමක් ද? 

ප්‍රතිසාධන සැලැස්මක් යනු යම්කිසි මූල්‍ය ආයතනයක මූල්‍ය තත්ත්වය බිඳ වැටීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙර මූල්‍ය ආයතනයක් විසින් ගත යුතු ක්‍රියාමාර්ග සපයන සැලැස්මකි.  

9. ප්‍රතිසාධන සැලසුම් සකස් කිරීමේ වගකීම දරන්නේ කවුරුන් ද?  

සෑම මූල්‍ය ආයතනයක් ම සිය අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආයතනයේ මූල්‍ය තත්ත්වය බිඳ වැටීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සපයන ප්‍රතිසාධන සැලසුම සකස් කළ යුතුය.

10. නිරාකරණ සැලසුමක් යනු කුමක් ද? 

පද්ධතිමය වැදගත්කමක් හෝ බලපෑමක් පවතින මූල්‍ය ආයතන වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට සහ මූල්‍ය ආයතන නිරාකරණයේ යහ භාවිතයන්ට අනුකුල ව නිර්මාණය කර ඇති සැලසුමකි.  

11. නිරාකරණ සැලසුම සකස් කිරීමේ වගකීම දරන්නේ කවුද?

නිරාකරණ සැලසුම් සකස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. කෙසේ වුව ද, එය ප්‍රතිසාධන සැලසුමට අනුව සම්මත කරගත් ක්‍රියාමාර්ගයක් වනු ඇත.

12. ශ්‍රී ලංකා මහ බැංකුවට බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ යම් මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැක්කේ කුමන කරුණු යටතේ ද?

බලපත්‍රලාභී බැංකුවක් හෝ බලපත්‍රලාභී මුදල් සමාගමක් තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බව හෝ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බව සහ පහත තත්ත්ව යටතේ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වන්නේ නම්, බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ යම් මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට තීරණය කළ හැකි ය: 

යම්කිසි මූල්‍ය ආයතනයක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පෙළඹෙන ආකාරයෙන්, බැංකු පනතේ විධිවිධාන හෝ ඕනෑම රෙගුලාසියක්, මාර්ගෝපදේශයක්, තීරණයක්, නියෝගයක් හෝ නියාමන, ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අවශ්‍යතා ඇතුළු ව පනත යටතේ සකසා ඇති, නිකුත් කර ඇති හෝ පනවා ඇති ඕනෑ ම අවශ්‍යතාවක් සපුරාලීමට යම්කිසි මූල්‍ය ආයතනයක් අපොහොසත් වී ඇති බව හෝ අපොහොසත් වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වී ඇති විට.

යම්කිසි මූල්‍ය ආයතනයක් බුන්වත්භාවයට පත් ව ඇති බව හෝ පත්වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වී ඇති විට.

යම්කිසි මූල්‍ය ආයතනයකට තැන්පතුකරුවන් හෝ අනෙකුත් ණයහිමියන් කෙරෙහි ඇති බැඳීම් සපුරාලීමට නොහැකි විට සහ එවැනි මූල්‍ය ආයතනයකට තැන්පතුකරුවන් හෝ අනෙකුත් ණයහිමියන් කෙරෙහි ඇති බැඳීම් සපුරාලීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වී ඇති විට. 

13. බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ප්‍රධාන නිරාකරණ බලතල මොනවා ද?

මූල්‍ය ආයතන නිරාකරණය සම්බන්ධයෙන් පවතින අතිරේක නිරාකරණ බලතලවලට අමතර ව පහත සඳහා ප්‍රධාන නිරාකරණ බලතල ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ:

නිරාකරණය කෙරෙන මූල්‍ය ආයතනයකට අද්මිනිස්ත්‍රාසිවරයෙකු පත් කිරීම;

එවැනි මූල්‍ය ආයතනයක කොටස් හුවමාරු කිරීම;

එවැනි මූල්‍ය ආයතනයක සියලු ම හෝ තෝරාගත් වත්කම් සහ වගකීම් හුවමාරු කිරීම;

වත්මන් සහ නව කොටස් හිමිකරුවන් හරහා ප්‍රාග්ධනය ඉහළ නැංවීම;

සම්බන්ධිත බැංකුවක් (Bridge Bank) පිහිටුවීම සඳහා ප්‍රාග්ධනය සපයන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කිරීම; සහ 

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉදිරිපත් කළ වාර්තා මත පදනම් ව එවැනි මූල්‍ය ආයතනයක් නිරාකරණය කිරීම සඳහා තාවකාලික මූල්‍ය සහය සපයන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කිරීම.

ඊට අමතර ව, මූල්‍ය ආයතනයක බිඳ වැටීමකින් පද්ධතිමය වැදගත්කමක් හෝ බලපෑමක් ඇති විය හැකි බව රජයේ මතය වන්නේ නම්, බැංකු (විශේෂ විධිවිධාන) පනත අනුව එවැනි මූල්‍ය ආයතන සඳහා ප්‍රාග්ධනය ලබා දීමට හෝ එම තාවකාලික ව පවරා ගැනීමට රජයට හැකි ය.  

14. මූල්‍ය ආයතනයක නිරාකරණය සඳහා අරමුදල් සැපයෙන්නේ කෙසේ ද? (අවශ්‍ය නම්) 

මූල්‍ය ආයතනයක් නිරාකරණය සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඔස්සේ අරමුදල් සැපයිය හැකි ය: 

දැඩි කොන්දේසිවලට යටතේ සීමිත අරමුණු සඳහා වන තැන්පතු රක්ෂණ අරමුදල; සහ

නිරාකරණ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහ නිරාකරණ ක්‍රියාමාර්ග ඵලදායී ව ක්‍රියාවට නැංවීම සඳහා මූල්‍ය ස්ථායීතා අරමුදල. 

15. මූල්‍ය ස්ථායීතා අරමුදල ස්ථාපිත කරන්නේ කෙසේ ද?

පහත සඳහන් ක්‍රම ඇතුළු ව විවිධ අරමුදල් මූලාශ්‍ර සමග මූල්‍ය ස්ථායීතා අරමුදල ස්ථාපිත කෙරේ:

රජයෙන් අයවැය හරහා ප්‍රතිපාදන වෙන් කිරීම, 

රජය දායකත්වය සැපයීම, 

ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලැබෙන ප්‍රදාන හෝ ණය, 

ආයෝජන ආදායම්, 

අරමුදල් ආයෝජනවලින් ලැබීම්, 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කරන පරිදි මූල්‍ය ආයතනවලින් හිමි වන මූල්‍ය දායකත්ව, සහ 

අමාත්‍යවරයා විසින් අනුමත අනෙකුත් ක්‍රම මගින් ලැබෙන ආදායම්. 

ඒ අනුව, මූල්‍ය ස්ථායීතා අරමුදල සඳහා ප්‍රධාන අරමුදල් මූලාශ්‍රය වන්නේ රජය යි. 

16. මූල්‍ය ස්ථායීතා අරමුදල භාවිත කළ හැක්කේ කුමන අරමුණු සඳහා ද? 

සම්බන්ධිත බැංකුවක් ස්ථාපිත කිරීම, රජයෙන් තාවකාලික මූල්‍ය සහාය සැපයීම සහ පද්ධතිමය වැදගත්කමක් හා බලපෑමක් ඇති මූල්‍ය ආයතන ප්‍රාග්ධනය වැනි නිශ්චිත අරමුණු සඳහා භාවිත කිරීමට පමණක් මූල්‍ය ස්ථායීතා අරමුදල වෙන් කර ඇත.

17.  සම්බන්ධිත බැංකුවක් යනු කුමක් ද? 

සම්බන්ධිත බැංකුවක් යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය අනුව පද්ධතිමය වැදගත්කමක් හෝ බලපෑමක් ඇති, නිරාකරණයට ලක් කෙරෙන මූල්‍ය ආයතනයක ඉටු කළ හැකි මෙහෙයුම් සහ අත්‍යවශ්‍ය කාර්යයන් භාර ගැනීමට සහ අඛණ්ඩ ව සිදු කිරීමට හෝ කොටස් මෙන් ම වත්කම්, වගකීම්, නෛතික අයිති සහ බැඳීම් එකක් හෝ වැඩි ගණනක් හෝ නිරාකරණයට ලක් කෙරෙන මූල්‍ය ආයතනයේ හිමිකාරිත්වය දරන/එම ආයතනය විසින් නිකුත් කර ඇති වෙනත් දේපළ උපකරණ හුවමාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත කර ඇති ආයතනයකි.

2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත (BSPA) යටතේ අද්මිනිස්ත්‍රාසිවරයෙකු පත් කිරීම

1.   බැංකු (විශේෂ විධිවිධාන) පනත (BSPA) යනු කුමක්ද ? එය හඳුන්වා දුන්නේ ඇයි? 

තැන්පතුකරුවන් සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව රැක ගැනීම සඳහා ශක්‍ය නොවන බලපත්‍රලාභී බැංකු ක්‍රමික ව සහ කාලීන ව නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වැඩි බලතල ලබා දීමට 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත හඳුන්වා දෙන ලදී.

2.  මහ බැංකුව විසින්  බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත නිරාකරණය ක්‍රියාත්මක කිරීමට අදාළ වන වත්මන් නෛතික විධිවිධාන මොනවාද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ම බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා බලපත්‍රලාභී බැංකුවල නිරාකරණයට අදාළ ව බැංකු (විශේෂ විධිවිධාන) පනතේ (BSPA) I වන සහ II වන කොටස අනුකූල කර ගැනීම සඳහා එම පනතේ  57 වන වගන්තිය යටතේ අංක 2432/02 දරන ගැසට් නිවේදනය 2025 අප්‍රේල් 16 වන දින නිකුත් කරන ලදී. ඒ අනුව, බැංකු (විශේෂ විධිවිධාන) පනත (BSPA) යටතේ ශක්‍ය නොවන බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණ කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. 

3. “නිරාකරණය” යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද සහ නිරාකරණයේ අරමුණු මොනවාද? 

නිරාකරණය යනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ එහි විසඳීමේ බලතල ක්‍රියාත්මක කිරීම ඔස්සේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යි. මහජන අභිලාෂය සුරැකීම, වැදගත් මූල්‍ය ආයතනවල අඛණ්ඩතාව තහවුරු කිරීම, සමස්ත මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යෑම සහ බදු ගෙවන්නන් හට පිරිවැය අවම කිරීම නිරාකරණයේ මූලික අරමුණු වේ. 

4. ශ්‍රී ලංකා මහ බැංකුවට නිරාකරණය ආරම්භ කළ හැකි වන්නේ කුමන කොන්දේසි යටතේ ද? 

බලපත්‍රලාභී බැංකුවක් හෝ බලපත්‍රලාභී මුදල් සමාගමක් ශක්‍ය නොවන හෝ ශක්‍ය නොවීමට ඉඩකඩ පවතින්නේ යැයි තීරණය කරනු ලබන අවස්ථාවක දී, ශ්‍රී ලංකා මහ බැංකුවට බැංකු (විශේෂ විධිවිධාන) පනතේ (BSPA) 13 වන වගන්තිය යටතේ නිරාකරණය ආරම්භ කළ හැකි අතර, එය යථා තත්ත්වයට පත් කළ හැකි වේ යැයි සාධාරණ අපේක්ෂාවක් නොමැත. 

5. නිරාකරණය ආරම්භ කිරීමේ බලය ඇත්තේ කා හට ද? 

බලපත්‍රලාභී බැංකුවක් හෝ බලපත්‍රලාභී මුදල් සමාගමකට නිරාකරණය සඳහා ක්‍රියාත්මක කර තිබේද යන්න තීරණය කිරීමේ බලතල ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය සතු වේ. 

6. නිරාකරණ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට තිබෙන බලතල මොනවාද? 

බැංකු (විශේෂ විධිවිධාන) පනත (BSPA) යටතේ පහත දක්වා ඇති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඇතුළු ව, පුළුල් නිරාකරණ බලතල ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ:

අ) එවැනි බලපත්‍රලාභී බැංකුවකට හෝ බලපත්‍රලාභී මුදල් සමාගමකට අද්මිනිස්ත්‍රාසිවරයකු පත් කිරීම;

ආ) එවැනි බලපත්‍රලාභී බැංකුවක හෝ බලපත්‍රලාභී මුදල් සමාගමක කොටස් පැවරීමක් ක්‍රියාත්මක කිරීම;

ඇ) බලපත්‍රලාභී බැංකුවක හෝ බලපත්‍රලාභී මුදල් සමාගමක සියලුම හෝ තෝරාගත් වත්කම් සහ වගකීම් පැවරීම;

ඈ) දැනට සිටින කොටස්හිමියන් සහ නව කොටස්හිමියන් ඔස්සේ ප්‍රාග්ධනය ඉහළ නැංවීම. 

ඉ) සම්බන්ධිත බැංකුවක් (bridge bank) පිහිටුවීම සඳහා ප්‍රාග්ධනය සැපයීමට අමාත්‍යවරයාගෙන් ඉල්ලීම; සහ 

ඊ) එවැනි බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණය සඳහා, එම ක්‍රියාත්මක කිරීමට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යොමු කරන ලද වාර්තා මත පදනම් ව, තාවකාලික මූල්‍ය සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීම.

7. “නිරාකරණය” යන්න බලපත්‍රයක් අවලංගු කිරීම සහ ආයතනයක් වසා දැමීම යන්නෙන් වෙනස් වන්නේ කෙසේ ද? 

• නිරාකරණය:

අ) ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල මෙහෙයුම් ස්ථාවර කිරීමට ඒවායෙහි අභියෝග සඳහා පිළියම් යෙදීමට මැදිහත් වේ. 

ආ) තැන්පතුකරුවන් සුරකින අතර, එවැනි බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මුදල් සමාගම්වල ප්‍රධාන මූල්‍ය සේවා පවත්වා ගෙන යනු ලබයි. 

ඇ) බලපත්‍රලාභී බැංකුව හෝ බලපත්‍රලාභී මුදල් සමාගම අද්මිනිස්ත්‍රාසිවරයා යටතේ අඛණ්ඩ ව ක්‍රියාත්මක වේ. 

ඈ) ප්‍රතිව්‍යුහගතකරණය, වත්කම් විකිණීම හෝ නව හිමිකාරීත්වයක් සොයා ගැනීම වැනි විකල්ප.

ඉ) බාධා අවම කිරීමට සහ නිරාකරණය යටතේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල වත්කම්වල අගය සුරැකීමට අරමුණු කිරීම. 

• බලපත්‍රය අවලංගු කිරීම:

අ) බලපත්‍රලාභී බැංකුව හෝ බලපත්‍රලාභී මුදල් සමාගම වහා ම සියලු ව්‍යාපාර කටයුතු නවතා දැමිය යුතු ය. 

ආ) වත්කම් විකිණීම සහ බලපත්‍රලාභී බැංකුව හෝ බලපත්‍රලාභී මුදල් සමාගම වසා දැමීමත් සමග ඈවර කිරීමට මග පාදයි. 

8. අද්මිනිස්ත්‍රාසිවරයෙකු යනු?  

බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මුදල් සමාගම් නිරාකරණය කරන කාලයේ දී එම ආයතනවල පූර්ණ පාලනය සඳහා සහ සිය ධුර කාලය අවසන් වන තෙක් අදාළ සමාගම වෙනුවෙන් එහි කටයුතු, වත්කම් සහ ව්‍යාපාර කළමනාකරණ සඳහා බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 18 වන වගන්තිය ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරනු ලබන ස්වාධීන පුද්ගලයෙක්, සංස්ථාපිත සමාගමක් හෝ ආයතනයක් අද්මිනිස්ත්‍රාසිකරුවෙකු ලෙස හැඳින්වේ. සිය කාර්යයන් ඉටු කිරීම සඳහා කිසියම් කණ්ඩායමක සහය ලබා ගැනීමට අද්මිනිස්ත්‍රාසිවරයෙකු ට බලය ඇත. 

9. අද්මිනිස්ත්‍රාසිවරයෙකු පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන නිර්ණායක මොනවා ද? 

බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 18 වන වගන්තිය ප්‍රකාර ව, අද්මිනිස්ත්‍රාසිවරයා සුදුසු සහ යෝග්‍ය විය යුතු අතර, දණ්ඩ නීති සංග්‍රහයේ IX වන කොටස අනුව අර්ථයෙන් සහ කාර්යයෙන් රාජ්‍ය සේවකයෙකු ලෙස සලකනු ලැබේ. තව ද, අද්මිනිස්ත්‍රාසිවරයා නිරාකරණයට ලක් වන ආයතනයේ කටයුතු සමග මූල්‍යමය හෝ වෙනත් කිසිදු ආකාරයක සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් නොමැති ස්වාධීන පුද්ගලයෙකු විය යුතු ය. 

10. අද්මිනිස්ත්‍රාසිවරයෙකු පත් කිරීම පිළිබඳ ව මහජනතාව දැනුවත් කරන්නේ කෙසේ ද?

අද්මිනිස්ත්‍රාසිවරයෙකු පත් කිරීම රජයේ ගැසට් පත්‍රයේ හෝ අවම වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පළවන පුවත්පත් තුනක ප්‍රකාශයට පත් කෙරෙන නියෝගයක් මගින් විධිමත් ව දැනුම් දෙනු ලැබේ.  

11. අද්මිනිස්ත්‍රාසිවරයෙකුගේ ධුර කාලය කොපමණ ද? 

අද්මිනිස්ත්‍රාසිවරයෙකුගේ ධුර කාලය මාස 6ක් වන අතර, ධුරයට පත් වූ දින සිට තවත් මාස 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරක දී දීර්ඝ කළ හැකි ය.

12. නිරාකරණයට ලක් වන බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මුදල් සමාගම්, අද්මිනිස්ත්‍රාසිවරයෙකු යටතේ පාලනය වන කාලයේ දී තවදුරටත් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලනයට යටත් වන්නේ ද? 

නැත. බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 19 වන වගන්තිය ප්‍රකාර ව, බලපත්‍රලාභී බැංකුවේ හෝ බලපත්‍රලාභී මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සහ කාර්යයන් අත්හිටුවන අතර, පාලනයේ සහ මෙහෙයුම්වල සම්පූර්ණ බලය අද්මිනිස්ත්‍රාසිවරයාට හිමි වේ. අධ්‍යක්ෂ මණ්ඩලය තනතුරේ තැබිය යුතු ද, ඉවත් කළ යුතු ද හෝ වෙනස් කළ යුතු ද යන්න තීරණය කිරීමේ අධිකාරි බලය අද්මිනිස්ත්‍රාසිවරයා සතු වේ.  

13. අද්මිනිස්ත්‍රාසිවරයෙකු යටතේ පාලනය වන කාලයේ දී නිරාකරණයට යටත් වන ආයතනයේ සේවකයින් සතු වගකීම් මොනවා ද?

බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 19 (3) වගන්තිය ප්‍රකාර ව, අදාළ ආයතනයේ සියලු ම සේවකයින්, අවශ්‍ය වාර්තා මෙන්ම පද්ධති සහ මෙහෙයුම් පහසුකම් සපයමින් අද්මිනිස්ත්‍රාසිවරයා වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීම අවශ්‍ය වේ. 

14. අද්මිනිස්ත්‍රාසිවරයකුට සමාගම වෙනුවෙන් නීතිමය හෝ මූල්‍යමය තීරණ ගැනීමට හැකි ද?

ඔව්. බැංකු විශේෂ විධිවිධාන පනතේ 19(1) වගන්තිය යටතේ,  ගිවිසුම්වලට එළැඹීමට, ණය ප්‍රතිව්‍යුහගතකරණයට, ගෙවීම් සිදු කිරීමට සහ අවශ්‍ය සියලු ම නීතිමය සහ මූල්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට අද්මිනිස්ත්‍රාසිවරයාට බලය ලබා දී තිබේ.  

15. පරිපාලන කාලය තුළ බලපත්‍රලාභී බැංකුවෙහි හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමෙහි නම වෙනස් වීමක් සිදු වේ ද?

ඒකාබද්ධ කිරීමක් හෝ වත්කම් හුවමාරුවක් වැනි විශේෂිත නිරාකරණ උපායමාර්ග යටතේ නියෝග කිරීමක් නොමැති නම් මිස, ආයතනයේ නම හෝ සන්නාමයේ නමෙහි ක්ෂණික වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ නැත. 

16. බැංකු විශේෂ විධිවිධාන පනත යටතේ පත් කරන ලද අද්මිනිස්ත්‍රාසිවරයකුගේ ප්‍රධාන වගකීම් මොනවා ද? 

i. සියලු ම වත්කම්, හිමිකම්, ව්‍යාපාර සහ බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී වාණිජ බැංකු සබඳතා පිළිබඳ සම්පූර්ණ පාලන කටයුතු සිදු කිරීම.

ii. සියලු ම වත්කම් සහ වගකීම්වල ඉන්වෙන්ට්‍රි සැකසීම සහ පත් කිරීමෙන් දින 30 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීම.

iii. ක්‍රියාත්මක කළ හැකි නිරාකරණ විසඳුම් පිළිබඳ නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් දින 60ක් ඇතුළත් සකස් කර ඉදිරිපත් කිරීම, එනම්:

අ) අඛණ්ඩ ව්‍යාපාරයක් ලෙස බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විකිණීම 

ආ) තෝරාගත් වත්කම් හෝ වගකීම් හුවමාරුව හෝ සම්බන්ධිත බැංකුවක් (bridge bank) පිහිටුවීම 

ඇ) එවන් බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල මූල්‍ය තත්ත්වය සහ අවදානම් පැතිකඩ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තීරණය කළ හැකි වෙනත් ඕනෑ ම නිරාකරණ බලයක් මගින් නිරාකරණ සිදු කිරීම 

ඈ) බලපත්‍රලාභී බැංකුවක් හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ඈවර කිරීම ආදිය.

iv. මූල්‍ය තත්ත්වය සහ නිරාකරණ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳ නිතිපතා කෙරෙන වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීම.

v. නිරාකරණය යටතේ බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට සම්බන්ධ ගොනු, ලිපිලේඛන සහ තොරතුරු සැලසුම් කිරීම සහ පවත්වාගෙන යෑම .

vi. පරිපාලන කාලය තුළ ගන්නා ලද සියලු ම තීරණ සහ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා සටහනක් පවත්වාගෙන යෑම.

17. බැංකු විශේෂ විධිවිධාන පනත යටතේ අද්මිනිස්ත්‍රාසිවරයාගේ පාලනයට සම්බන්ධ වියදම් දරන්නේ කවුද? 

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තීරණය කළ සහ බැංකු විශේෂ විධිවිධාන පනතේ 18(9) වගන්තියට සමගාමී ව අද්මිනිස්ත්‍රාසිවරයාට වේතනයක් ගෙවිය යුතු අතර, එම වේතනය ඇතුළු අදිමිනිස්ත්‍රාසිවරයා සම්බන්ධ, සියලු වියදම් නිරාකරණයට ලක් වන බලපත්‍රලාභී බැංකුව හෝ බලපත්‍රලාභී මුදල් සමාගම විසින් දරනු ලැබිය යුතු ය. 

18. නිරාකරණය සඳහා පත් කරන ලද අද්මිනිස්ත්‍රාසිවරයකු වැඩ අත්හිටුවන්නේ කවදා ද සහ වැඩ අත්හිටුවීමෙන් පසු ඔහුගේ/ඇයගේ වගකීම් මොනවා ද?

පහත සඳහන් ඕනෑ ම අවස්ථාවක පළමු ව සිදු වන දෙයක දී අද්මිනිස්ත්‍රාසිවරයකුගේ වැඩ අත්හිටුවීම සිදු කරයි: 

අ. අද්මිනිස්ත්‍රාසිවරයා පත් කිරීමේ ගැසට් නියෝගයේ දක්වා ඇති කාල සීමාව සම්පූර්ණ කළ පසු; හෝ  

ආ. නියමිත කාලයට පෙර පත්වීම අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි නම්. 

සේවය අත්හිටුවීමෙන් පසු වැඩ කරන දින 20ක් ඇතුළත, අද්මිනිස්ත්‍රාසිවරයා පරිපාලන කාල සීමාව තුළ සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳ අවසන් වාර්තාවක් සකස් කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු ය. 

19. පරිපාලන කාලය තුළ රක්ෂණ තැන්පතු සඳහා ශ්‍රී ලංකා රක්ෂණ තැන්පතු යෝජනා ක්‍රමය (SLDIS)  යටතේ වන්දි ගෙවීමක් පවතී ද? 

නැත. ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වන බැවින් සහ පරිපාලනය යටතේ බලපත්‍රලාභී බැංකුව හෝ බලපත්‍රලාභී මුදල් සමාගම සතු බලපත්‍රය අවලංගු කර නොමැති බැවින් ශ්‍රී ලංකා රක්ෂණ තැන්පතු යෝජනා ක්‍රමය යටතේ වන්දි ගෙවීමක් සිදු නොකෙරෙයි.