නිති අසන පැන (FAQs)

තැන්පතු රක්ෂණය

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIS)

1. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි සාමාජික ආයතන මොනවාද?

1988 අංක 30 දරන බැංකු පනත යටතේ ලියාපදිංචි කළ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු 

1988 අංක 30 දරන බැංකු පනත යටතේ ලියාපදිංචි කළ සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි කළ සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම්

2. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් රක්ෂණය කරනු ලබන/ ආවරණය කරනු ලබන තැන්පතු මොනවාද? 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් එහි සාමාජික ආයතනයක් සමග තබා ඇති ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ ව්‍යවහාර මුදලකින් නිරූපිත පහත දක්වා ඇති තැන්පතු ආවරණය කෙරේ.

- ඉතුරුම් තැන්පතු 

- ඉල්ලුම් තැන්පතු

- තැන්පතු සහතික ඇතුළු ව ස්ථාවර තැන්පතු

3. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් ආවරණය කෙරෙන්නේ කවුරුන් ද? 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් තනි පුද්ගලයන්, බද්ධ ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර, සංස්ථාපිත ආයතන මගින් පවත්වා ගෙන යනු ලබන තැන්පතු ආවරණය කෙරෙන නමුත්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 43 (3) වගන්තියේ සඳහන් සුදුසුකම් නොලත් තැන්පතු බැහැර කෙරේ. 

4. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ දැනට තිබෙන තැන්පතු රක්ෂණ ආවරණය කුමක්ද?  

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආයතනික පදනම අනුව එක් තැන්පතුකරුවෙකුට දැනට පවතින වත්මන් ආවරණය 1,100,000/- දක්වා මුදලක් වේ. 

5. වන්දි ගෙවීම් සඳහා එක් එක් තැන්පතුකරුගේ සුදුසුකම්ලත් තැන්පතු අගය ගණනය කරන්නේ කෙසේ ද?

සාමාජික ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීමේ දිනට උපචිත යම් පොලියක් ඇත්නම් එය ද ඇතුළු ව, එක් එක් තැන්පතුකරුගේ යම් ව්‍යවහාර මුදලකින් නිරූපිත සියලුම තැන්පතු ඒකාබද්ධ කරමින්, “එක් තැන්පතුකරුවෙකුට” යන පදනම මත ගෙවිය යුතු වන්දි මුදල් ගණනය කෙරෙන අතර, ඉන්පසු එළඹෙන කාලච්ඡේදය සඳහා කිසිදු පොලියක් නොගෙවනු ඇත.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආයතනික පදනම අනුව එක් තැන්පතුකරුවෙකුට දැනට පවතින වත්මන් ආවරණය 1,100,000/- දක්වා මුදලක් වේ. 

6. තැන්පතුකරුවෙකුට විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු තිබෙන විට එම තැන්පතුකරුට සිදු කරන වන්දි ගෙවීම ගණනය කරන්නේ කෙසේ ද? 

නිති අසන පැන අංක 05 හි විස්තර කර ඇති පරිදි රුපියල් තැන්පතුවල වන්දි ගෙවීමේ අවස්ථාවක දී මෙන්, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික ආයතනයකට නිකුත් කරන ලද බලපත්‍රයක් අවලංගු කරන අවස්ථාවේ දී, විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු සතු, එම සාමාජික ආයතනයේ රක්ෂිත තැන්පතුකරුවන් ආයතනික පදනමට අනුව එක් තැන්පතුකරුවෙකුට රු. 1,100,000ක උපරිමයක් දක්වා වන්දි ලබා දෙනු ඇත.

7. තැන්පතුකරුවෙකුට ඒකාබද්ධ තැන්පතු පවතින විට තැන්පතුකරුවෙකුට ගෙවනු ලබන වන්දි ගෙවීම ගණනය කරන්නේ කෙසේ ද? 

ඒකාබද්ධ තැන්පතු හිමියන් සලකා බැලීමේ දී, සෑම ඒකාබද්ධ තැන්පතුකරුවෙකු ම වෙන ම තැන්පතුකරුවෙකු ලෙස සලකනු ලබන අතර, අදාළ සාමාජික ආයතනයෙහි ඔහු/ ඇය සතු සියලුම රක්ෂිත තැන්පතු සලකා බලමින් රු. 1,100,000/- උපරිමයක් දක්වා ඔහු/ ඇය වෙත වන්දි ගෙවනු ඇත. 

8. මිය ගිය තැන්පතුකරුවෙකුගේ ප්‍රතිලාභීන් (ඒකාබද්ධ ගිණුම් හිමියන්/ නාමිකයන්) වෙත ගෙවිය යුතු වන්දි මුදල ගණනය කරන්නේ කෙසේ ද? 

මිය ගිය තැන්පතුකරුවෙකු සඳහා හිමිකම් පෑමට ප්‍රතිලාභීන් කිහිප දෙනෙකු සිටින විට, මුළු තැන්පතුවල අදාළ කොටසට අනුව රු. 1,100,000/- ක් දක්වා තනි පුද්ගල ගෙවීම් සාමානුපාතික ව බෙදනු ලැබේ.

9. වන්දි ගෙවීම් සඳහා අයදුම් කළ යුතු කාල පරාසය කුමක්ද? 

i.2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව, රක්ෂිත තැන්පතුවල තැන්පතුකරුවෙකු අදාළ සාමාජික ආයතනය වෙත නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීමේ දිනයේ සිට වසර හයක් (06) ක් ඇතුළත, නිසි පරිදි පුරවන ලද වන්දි මුදල් සඳහා හිමිකම් පෑමේ පෝරමයක් යොමු කළ යුතු ය. 

ii.බැංකු (විශේෂ විධිවිධාන) පනතේ පත් කළ දිනයට පෙර (එනම්, 2023.11.15) බලපත්‍ර අවලංගු කර ඇති/ අත්හිටුවා ඇති සාමාජික ආයතනවල රක්ෂිත තැන්පතුකරුවන් සලකා බැලීමේ දී, ඔවුන්ගේ හිමිකම් පෑම් යොමු කිරීම සඳහා පහත සඳහන් කාලසීමා අදාළ වේ:

අ.2021/08/06 වන දිනට පෙර බලපත්‍රය අවලංගු කර ඇති සාමාජික ආයතනයක රක්ෂිත තැන්පතුකරුවන්, අදාළ සාමාජික ආයතනය වෙත බලපත්‍රය අවලංගු කළ/ අත්හිටු වූ දිනයේ සිට වසර හතරකට (04) නොවැඩි කාලයක් තුළ දී ඔවුන්ගේ හිමිකම් පෑම් යොමු කළ යුතු ය. 

ආ.2023/11/15 වන දිනට පෙර, නමුත් 2021/08/06 දිනට පෙර බලපත්‍රය අවලංගු කර ඇති සාමාජික ආයතනයක රක්ෂිත තැන්පතුකරුවන්, අදාළ සාමාජික ආයතනය වෙත බලපත්‍රය අවලංගු කළ/ අත්හිටු වූ දිනයේ සිට වසර හයකට (06) නොවැඩි කාලයක් තුළ දී ඔවුන්ගේ හිමිකම් පෑම් යොමු කළ යුතු ය.

10. රු. 600,000ක් දක්වා දැනටමත් හිමිකම් පා ඇති තැන්පතුකරුවන් වෙත එහි ඉතිරි මුදල වන රු. 500,000 ගෙවීමේ ක්‍රමවේදය කුමක් ද? 

රක්ෂිත තැන්පතුකරුවන් හිමිකම් පෑම සඳහා දක්වා ඇති නියමිත කාල සීමාව තුළ ( කාලසීමාවන් සඳහා නිති අසන පැන අංක 11 සහ 16 බලන්න) තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුව (DIRD) විසින් නියම කර ඇති ආකෘතියට අනුව සකසන ලද කැමැත්ත පළ කිරීමේ ප්‍රකාශයක් යොමු කළ යුතු ය. කැමැත්ත පළ කිරීමේ ප්‍රකාශ බාගත කළ හැකි ය. 

 

ශ්‍රී ලංකා මහ බැංකුව ඔස්සේ තැන්පතුකරුවන් වෙත වන්දි ගෙවීම් 

11. වන්දි ගෙවීම් සඳහා මහ බැංකුව විසින් ඍජුව හසුරවනු ලබන/ හසුරවනු ලැබූ බලපත්‍ර අවලංගු කරන ලද සාමාජික ආයතන මොනවාද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රය අහෝසි කරන ලද පහත දක්වා ඇති සාමාජික ආයතනවල තැන්පතුකරුවන් වෙත වන්දි ගෙවීම් ඍජු ව හසුරවනු ලැබේ/ හසුරවන ලදී:

අ)සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) – (2023.06.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන ලදී)

ආ)ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් එල්ටීඩී (TSCFL) – (2023.02.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන ලදී)

ඇ)ටී කේ එස් ෆිනෑන්ස් එල්ටීඩී (TKSFL) – (2023.09.19 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන ලදී)

ඈ)බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී (BFP) 2029.08.31 තෙක් 

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් එල්ටීඩී යන ආයතනවල තැන්පතුකරුවන් වෙත වන්දි ගෙවීම් බේරුම්කරුවෙකු පත් කිරීම හේතුවෙන් ඉහත සඳහන් කර ඇති දිනවල සිට අවසන් කරන ලද අතර, උපරිම වන්දි පෑ හැකි කාලච්ඡේදය කල් ඉකුත් වීම හේතුවෙන් ටී කේ එස් ෆිනෑන්ස් එල්ටීඩී සඳහා වන්දි ගෙවීම් අවසන් කෙරිණි. 

12. තැන්පතුකරුවෙකුට වන්දි ගෙවීමකට අයදුම් කළ යුත්තේ කෙසේ ද?

තැන්පතුකරුවන් හට මෙම හිමිකම්  පෑමේ පෝරමය  බාගත කළ හැකි ය.

නැතහොත්

මෙම හිමිකම් පෑමේ පෝරමය සහ අනෙකුත් ආකෘති ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ පිළිගැනීමේ කවුන්ටරයෙන් සහ මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගන්න.  

තැන්පතුකරුවන් විසින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද හිමිකම් පෑමේ පෝරම, ඉල්ලා ඇති අනෙකුත් ලේඛන ( නිසි අසන පැන අංක 13 බලන්න) සමග දෘඪ පිටපත් ලෙස ගෙනැවිත් භාර දීම හෝ ලියාපදිංචි තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ යුතු ය. 

අ)ලියාපදිංචි තැපෑල මගින්: 

අධ්‍යක්ෂ, තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනය වෙත යොමු කරන්න. 

නැතහොත්

ආ)“අධ්‍යක්ෂ, තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව” යන ලිපිනයට මුද්‍රිත ලියුම් කවරයක් තුළ, බහාලූ හිමිකම් පෝරමය සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා කාලය තුළ අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ බිම් මහළේ ඇති තැපැල් කාමරය වෙත ගෙනැවිත් භාර දෙන්න.  

13. වන්දි මුදල් සඳහා හිමිකම් පෑමකට අවශ්‍ය ලේඛන මොනවා ද? 

නිසි ලෙස සහතික කරන ලද හිමිකම් පෑමේ පෝරමය

මුල් තැන්පතු සහතික

මුල් සහතිකවලට අනුව නිසි ලෙස සහතික කරන ලද හඳුනා ගැනීමේ ලේඛන 

බැංකු ගිණුම් විස්තර 

නම් වෙනස් වීමක දී දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ය. 

නිති අසන පැන අංක 12 හි දක්වා ඇති පරිදි, ඉහත සඳහන් ලේඛන දෘඪ පිටපත් ලෙස අදාළ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම හෝ ගෙනැවිත් භාර දීම සිදු කළ යුතු ය. 

14. වන්දි මුදල් ගෙවීම සඳහා කොපමණ කාලයක් ගත වන්නේ ද? 

ඒ සඳහා ගත වන කාලය අයදුම්පත්වල සම්පූර්ණභාවය සහ අවශ්‍ය අනෙකුත් සියලුම ලේඛන යොමු කිරීම මත රඳා පවතී. අවශ්‍ය සියලුම ලේඛන පිළිවෙළින් ඇත්නම්, හිමිකම් පෑම ක්‍රියාත්මක කර, ආසන්නත ම ඊළඟ කාණ්ඩයේ ගෙවීම් සිදු කෙරෙනු ඇත.

15. ලේඛන පිළිවෙළට නොමැති නම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක් ද? 

යම් අඩුලුහුඬුකම් සහ අමතර විස්තර අවශ්‍ය වන්නේ නම්, තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුව (DIRD) විසින් දුරකථනය, විද්‍යුත් තැපෑල හෝ තැපෑල මගින් ඒ පිළිබඳ ව තැන්පතුකරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. 

 

නියෝජිත බැංකුව ඔස්සේ තැන්පතුකරුවන් වෙත වන්දි ගෙවීම්

16. නියෝජිත බැංකුව ඔස්සේ තැන්පතුකරුවන් වෙත වන්දි ගෙවනු ලබන/ ගෙවන ලද, බලපත්‍රය අවලංගු කරන ලද සාමාජික ආයතන මොනවා ද?

ඊ.ටී.අයි (ETI) සහ එස්.එෆ්.එස් (SFS) යන ආයතනවල තැන්පතුකරුවන්ගේ වන්දි ගෙවීම් 2020.07.25 දින සිට ආරම්භ කෙරිණි. 

17. ඊ.ටී.අයි (ETI) සහ එස්.එෆ්.එස් (SFS) යන ආයතන  සඳහා ගෙවීම් ක්‍රියාවලිය ආරම්භ වූයේ කවදා ද? 

ඊ.ටී.අයි (ETI) සහ එස්.එෆ්.එස් (SFS) යන ආයතනවල තැන්පතුකරුවන් සඳහා වන්දි ගෙවීම් 2020.07.25 දින ආරම්භ කෙරිණි.

18. නියෝජිත බැංකුව ඔස්සේ වන්දි ගෙවීම ලබා ගැනීමට කුමක් කළ යුතු ද? 

තැන්පතුකරුවන් මුල් තැන්පතු සහතික සමග වලංගු හඳුනා ගැනීමේ ලේඛනයක් (ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය) සහිත ව, නියෝජිත බැංකුවේ ආසන්නත ම ශාඛාව වෙත යා යුතු අතර, ගෙවීම ලබා ගැනීම සඳහා නියෝජිත බැංකුව විසින් ලබා දෙන ලද පහත උපදෙස් අනුගමනය කළ යුතු ය. 

19. නියෝජිත බැංකුව වෙත යොමු කළ යුතු ලේඛන මොනවා ද? 

තැන්පතුකරුගේ හඳුනා ගැනීමේ ලේඛනවල  මුල් පිටපත් (ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය)

මුල් සහතිකපත්, පාස් පොත්, කොටස් සහතික

නිසි ලෙස සම්පූර්ණ කළ හිමිකම් පෑමේ පෝරමය 

ඇටෝර්නි බලපත්‍රයක්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලිපි, තැන්පතු ගෙවීමට අපොහොසත් වූ අදාළ සාමාජික ආයතනය විසින් නිකුත් කරන ලද හානිපූරණ වැනි ඉල්ලා ඇති අනෙකුත් ලේඛන. 

20. නියෝජිත බැංකුවෙන් කවුන්ටරය හරහා මුදල් ආපසු ලබා ගත හැකි ද?

ඔව්.  

විකල්පයක් ලෙස, අපොහොසත් වූ සාමාජික ආයතනයේ තැන්පතුකරුවන්ට නියෝජිත බැංකුවේ ඔවුන්ගේ දැනට පවතින/ නව ගිණුම්වලට වන්දි ගෙවීම් බැර කිරීමට ඉඩ ලබා දෙයි. 

 

තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම සම්බන්ධ වෙනත් කරුණු 

21. තැන්පතුකරුවා සතුව තැන්පතුවල මුල් පිටපත් නොමැති නම්, අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කුමක් ද? 

තැන්පතුකරුවා විසින් තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව (DIRD)/ නියෝජිත බැංකුව මගින් සපයා ඇති ආකෘතිය අනුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශය සහ හානිපූරණ ලිපිය ඉදිරිපත් කළ යුතු ය.  ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ගෙවීම් සිදු කරන අවස්ථාවක දී තැන්පතුකරුගේ ඉල්ලීම මත තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව මගින් දිවුරුම් ප්‍රකාශයේ සහ හානිපූරණ ලිපියේ ආකෘතිය නිකුත් කරනු ලැබේ.  වන්දි මුදල නියෝජිත බැංකුව හරහා ගෙවීම සිදු කරන්නේ නම්, අදාළ දිවුරුම් ප්‍රකාශයේ සහ හානිපූරණ ලිපියේ ආකෘතිය (පෝරම 07), අදාළ නියෝජිත බැංකුව විසින් නිකුත් කරනු ලැබේ. 

තැන්පතුකරුවා විසින් දිවුරුම් ප්‍රකාශය පිරවිය යුතු අතර, සාමදාන විනිශ්චයකාරවරයකු/ දිවුරුම් කොමසාරිස්වරයකු විසින් එය සහතික කළ යුතු ය. 

අදාළ තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වූ සාමාජික ආයතනය මගින් හානිපූරණය සම්පූර්ණ කළ යුතු ය. 

22. ඒකාබද්ධ තැන්පතුවක දී, එක් තැන්පතුකරුවකුට පමණක් වන්දි මුදලෙන් ඔහුගේ/ඇයගේ කොටසට හිමිකම් පෑමට හැකි ද? 

ඔව්. අනෙකුත් තැන්පතුකරුවා/ තැන්පතුකරුවන් වලංගු හිමිකම් ආකෘතිය/ ආකෘති ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවක දී නියෝජිත බැංකුවෙහි පෞද්ගලිකව ම පෙනී සිටින හෝ නිසි පරිදි සම්පූර්ණ කරන ලද හිමිකම් අයදුම්පත් තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ඒකාබද්ධ තැන්පතුකරුවාට, වන්දි මුදලෙන් ඔහුට/ඇයට අයිති කොටස පමණක් ලබා ගැනීමට හැකි ය.   

23. විදේශගත ව සිටින තැන්පතුකරුවන් වන්දි මුදල් ලබා ගන්නේ කෙසේ ද? 

විදේශගත ව සිටිනා තැන්පතුකරුවන්ට හිමිකම් අයදුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා ‘විශේෂ ඇටෝර්නි බලපත්‍රයක්’ ඉදිරිපත් කළ යුතු ය. 

තැන්පතුකරුවා ඔහු/ඇය ශ්‍රී ලංකාවේ පදිංචි ව සිටින අතරතුර ඇටෝර්නි බලපත්‍රයක් අත්සන් කරන්නේ නම්, එය සාමදාන විනිශ්චයකාරවරයකු/ දිවුරුම් කොමසාරිස්වරයකු මගින් සහතික කළ හැකි ය.  තැන්පතුකරුවා විදේශගත ව සිටින අතරතුර ඇටෝර්නි බලපත්‍රය අත්සන් කරන්නේ නම්, එවිට එය තැන්පතුකරුවා පදිංචි රටෙහි තානාපති කාර්යාලය හරහා සහතික කර ගත යුතු ය. කෙසේ වෙතත්,  අවස්ථා දෙකෙහි දී ම ඇටෝර්නි බලකරුවා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටිය යුතු ය.  

විදේශයක පදිංචි ව සිටින තැන්පතුකරුවා නියෝජිත බැංකුවක් හරහා වන්දි ලබා ගනී නම් සහ එවැනි බැංකුවක ගිණුමක් පවතී නම්, නියෝජිත බැංකුව ඍජු ව ම අරමුදල් තැන්පතුකරුවාගේ ගිණුමට බැර කරනු ඇත. 

තැන්පතුකරුවාට නියෝජිත බැංකුවේ ගිණුමක් නොමැති නම්, නියෝජිත බැංකුවට එවැනි ගිණුමකට ඍජුව ම අරමුදල් බැර කිරීමට හැකි වන පරිදි තැන්පතුකරුවා වෙනුවෙන් ගිණුමක් විවෘත කිරීමට විශේෂ ඇටෝර්නි බලය ලබා දිය යුතු ය.  

තැන්පතුකරුවාගේ නමින් පවත්වාගෙන යන තනි හෝ ඒකාබද්ධ ගිණුමකට පමණක් වන්දි මුදල් බැර කරනු ලැබේ. . 

24. අපැහැදිලි/ අතින් ලියන ලද/ සලකුණු කරන ලද/ මුද්‍රා තැබූ සහතිකපත් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කුමක් ද? 

තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුව/ නියෝජිත බැංකුව මගින් අදාළ තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වූ සාමාජික ආයතනයෙන් හානිපූරණ ලබා ගනු ඇත. 

25. මියගිය තැන්පතුකරුවන් සඳහා වන වන්දි මුදල්වලට හිමිකම් කියන්නේ කෙසේ ද? 

මරණ සහතිකය සහ අදාළ සියලු ම ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු පහත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු ය. 

.එක් ගිණුම් හිමියකු පමණක් මියගිය ඒකාබද්ධ තැන්පතුකරුවන්ට 

සෑම ඒකාබද්ධ තැන්පතුකරුවකුට ම රු. 1,100,000/- උපරිමයක වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත්, මියගිය තැන්පතුකරුවකු සම්බන්ධයෙන්, මියගිය තැන්පතුකරුවාගේ වන්දි ගෙවීමේ කොටස මියගිය තැන්පතුකරුවා වෙනුවෙන් ඉතිරි ඒකාබද්ධ තැන්පතුකරුවන්ට ලබා දෙනු ලැබේ.  ඒ අනුව, ඒකාබද්ධ තැන්පතුකරුවාට/ තැන්පතුකරුවන්ට ඔහු/ඇය වෙනුවෙන් සහ මියගිය තැන්පතුකරුවා වෙනුවෙන් වන ගෙවීම යන දෙක ම හිමි වේ. 

.සාමාජික ආයතනවල පවත්වාගෙන යනු ලබන සියලු ම ගිණුම් සඳහා නාමිකයා/නාමිකයන් පත් කර ඇති විට

වන්දි මුදල මියගිය තැන්පතුකරුවාගේ නාමිකයාට/නාමිකයන්ට ලබා දෙනු ලැබේ. 

.තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති තැන්පතුකරුවන්ගේ ලැයිස්තුවට අනුව නාමිකයන් පත් කර නොමැති මියගිය තැන්පතුකරුවන්ට  

විධිනියෝගයට අනුව, නාමිකයන් තහවුරු කරගැනීම සඳහා නියෝජිත බැංකුව/ තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුව අදාළ සාමාජික ආයතනවලින් හානිපූරණය ලබා ගනු ඇත. 

.නාමිකයකු පත් කර නොමැති නමුත් පිළිගත හැකි අවසන් කැමැත්තක් සහිත මියගිය තැන්පතුකරුවන්ට

නියෝජිත බැංකුවේ/ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිළධාරීන්ගෙන් නීතිමය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු ව, නීත්‍යනුකූල තැන්පතු උරුමකරුවන්ට වන්දිය ලබා දෙනු ඇත. 

.නාමිකයකු සහ අවසන් කැමැත්තක් නොමැති මියගිය තැන්පතුකරුවන්ට 

නීත්‍යනුකූල තැන්පතු උරුමකරු/උරුමකරුවන්ගෙන් අත්‍යවශ්‍ය හානිපූරණ සහ නියෝජිත බැංකුවේ/ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවල නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරු ව, සාමාන්‍ය නීතියට සහ බැංකු පිළිවෙත්වලට අනුකූල ව වන්දි ලබා දෙනු ඇත. 

.මියගිය තැන්පතුකරුගේ විවිධ තැන්පතු සඳහා විවිධ නාමිකයන් සහ/හෝ ඒකාබද්ධ තැන්පතුකරුවන් 

නියෝජිත බැංකුව/තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වූ සාමාජික ආයතනයෙන් හානිපූරණ සහ අවශ්‍ය නම් නීති උපදෙස් ලබා ගනු ඇත.  

26. නාමික තොරතුරු ලබා ගන්නේ කෙසේද?

නියෝජිත බැංකුව/තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව මගින් හානිපූරණ ආකෘතිය හරහා තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වූ සාමාජික ආයතනයෙන් නාමිකයා තහවුරු කර ගැනීම ලබා ගත යුතු ය. 

27. රු. 1,100,000ක සීමාව දක්වා ලබා ගත හැකි වන්දි මුදල ලබා ගැනීමෙන් පසු තැන්පතුවේ ශේෂය ලබා ගන්නේ කෙසේ ද?

තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වූ සාමාජික ආයතනයේ ඈවර කිරීමේ ක්‍රියාවලිය අතරතුර දී ඈවරකරුගෙන් ශේෂය ලබා ගැනීමට හැකි ය. 

 

අනන්‍ය වූ හඳුනා ගැනීම් අංක වාර්තා කිරීම

28. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින්මතු බලපත්‍රලාභී බැංකු/ /LBs ලෙස හැඳින්වෙන) සහ බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) මගින් අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක (UIN) වාර්තා කිරීම සඳහා අදාළ වන විධාන මොනවා ද?

බලපත්‍රලාභී බැංකු සඳහා - ‘බලපත්‍රලාභී බැංකු මගින් තැන්පතුකරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක වාර්තා කිරී‍ම’ පිළිබඳ 2022 අංක 07 දරන බැංකු පනත් විධානය

න්‍ය වූ හඳුනා ගැනීමේ අංක වාර්තා කිරී‍ම’ පිළිබඳ 2022 අංක 03 දරන මුදල් ව්‍යාපාර පනත් විධානය 

29. බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය වාර්තා කිරීම අනිවාර්ය කිරීමේ ප්‍රධාන අරමුණු මොනවා ද?

බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ ශක්තිමත්භාවය සහ  සුපිළිපන්බව ශක්තිමත් කිරීම මෙන් ම, වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් තැන්පතුකරුවන්ගේ තොරතුරු සම්පාදනයට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ. 

30. බාලවයස්කරුවන් සඳහා ගිණුම් විවෘත කිරීමේ දී යොදා ගැනෙන අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය කුමක් ද?

උපන්දිනය සහ ඉන් පසු ව උප්පැන්න සහතික අංකය එම ක්ෂේත්‍රය තුළ ම භාවිත කරමින් පහත විස්තර කර ඇති පරිදි  ඉලක්කම් 12කින් යුතු අංකය නිර්මාණය කළ යුතු ය. 

උදා:- උපන් දිනය : 2005 ජනවාරි 07 (2005.01.07) සහ උප්පැන්න සහතික අංකය: 0325

2 0 0 5 0 1 0 7 0 3 2 5

 

31. උප්පැන්න සහතිකයේ අංක පහක් සහිත විශේෂිත අවස්ථාවක ඔබ බාලවයස්කරුවකුගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය වාර්තා කරන්නේ කෙසේ ද?  

ප්‍රශ්න අංක 29හි විස්තර කළ අන්දමට සමානව ම, උපන්දිනය සහ ඉන් පසු ව උප්පැන්න සහතික අංකය එම ක්ෂේත්‍රය තුළ ම භාවිත කරමින් පහත විස්තර කර ඇති පරිදි  ඉලක්කම් 13කින් යුතු අංකය සැකසිය යුතු ය. 

32. බාලවයස්කරුවකුගේ ජාතික හැඳුනුම්පත් අංකයක් තිබේ නම්, අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය ලෙස වාර්තා කළ හැකි ද? 

ඉහත ප්‍රශ්න අංක 1හි සඳහන් කළ විධානවල අරමුණ වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියකු සඳහා වන මූලික හඳුනා ගැනීමේ අංකය ජාතික හැඳුනුම්පත ලෙස පිළිගැනේ. ඒ අනුව,  බාලවයස්කාරයකු වැඩිහිටියකු බවට පත්වීමට පෙර ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇත්නම්, ඉහත ප්‍රශ්න අංක 29 හි පැහැදිලි කර ඇති පරිදි හඳුනා ගැනීමේ අංකය ලෙස උපන් දිනය සහ උප්පැන්න සහතික අංකය  සටහන් කිරීම වෙනුවට, බාලවයස්කරුගේ හැඳුනුම්පත් අංකය වාර්තා කළ හැකි ය. 

කෙසේ වුවද, එවැනි අවස්ථාවල දී බලපත්‍රලාභී බැංකු හෝ බලපත්‍රලාභී මුදල් සමාගම් අදාළ තැන්පත්කරුගේ පවතින සියලු ම සුළු ගිණුම් විවිධ අනන්‍ය වූ හඳුනා ගැනීම් අංකය  යටතේ මූලික බැංකු පද්ධතියේ අනුපිටපත් නොවන අයුරින් ඔහුගේ/ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ සටහන් කර ඇති බව තහවුරු කළ යුතු ය. 

33. බාලවයස්කාර කාණ්ඩය යටතේ ‘බෞද්ධ සාමණේර හිමි නමක්’ සඳහා ගිණුමක් විවෘත කිරීමේ දී භාවිත කළ යුතු අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය කුමක් ද?    

ප්‍රශ්න අංක 29 හි සඳහන් බාලවයස්කරුවන්ට සමාන ව ම, බෞද්ධ සාමණේර හිමියකුට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගන්නා තුරු උපන්දිනය සහ ඉන් පසු ව උප්පැන්න සහතික අංකය අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය ලෙස භාවිත කළ යුතු ය.  තව ද, බෞද්ධ සාමණේර හිමි නමකගේ නම වෙනස් කිරීම, උන්වහන්සේගේ ගිහි නාමය සහ පැවිදි නාමය ඇතුළත් වන උපසම්පදා සහතිකය (සාමණේර සහතිකය/උපසම්පදා සහතිකය) ලබා ගැනීමෙන් අනතුරු ව, එහි නිවැරදි බව තහවුරු කළ යුතු ය.  

34. විදේශ රටක වාසය කරන ශ්‍රී ලාංකිකයකුගේ හෝ වැඩිහිටියකු වීමට ප්‍රථම ලංකාවෙන් බැහැර වූ සහ ජාතික හැඳුනුම්පතක් නොමැති ශ්‍රී ලාංකිකයකුගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය කුමක් ද? 

ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගෙන, එවැනි තැන්පතුකරුවකුගේ විදේශ ගමන් බලපත් අංකය අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය ලෙස භාවිත කිරීමට අනුමැතිය දී තිබේ. 

කෙසේ වෙතත්, විදේශ ගමන් බලපත් අංකය විශේෂිත හඳුනා ගැනීමක් නොවන බැවින්, තැන්පතුකරුවා මූලික බැංකු පද්ධතියේ විවිධ හඳුනා ගැනීම් අංක යටතේ අනුපිටපත් නොකිරීමට බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් ඉල්ලා සිටී. තව ද, එවැනි තැන්පතුකරුවන්ට සිය ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම දිරිමත් කිරීමට සහ ඉදිරි දිනයක දී එය බැංකු පද්ධතිය තුළ යාවත්කාලීන කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් ඉල්ලා සිටී.    

35. ශ්‍රී ලංකාවේ හෝ පිටත වාසය කරන සහ ජාතික හැඳුනුම්පතක් නොමැති ද්විත්ව පුරවැසියකුගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය කුමක් ද? 

ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින්, එවැනි තැන්පතුකරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය ලෙස විදේශීය රටක විදේශ ගමන් බලපත්‍ර අංකය වාර්තා කිරීමට අවසර දී තිබේ.  

කෙසේ වෙතත්, විදේශ ගමන් බලපත් අංකය විශේෂිත හඳුනා ගැනීමක් නොවන බැවින්, තැන්පතුකරුවා මූලික බැංකු පද්ධතියේ විවිධ හඳුනා ගැනීම් අංක යටතේ අනුපිටපත් නොකිරීමට බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් ඉල්ලා සිටී. තව ද, එවැනි තැන්පතුකරුවන්ට සිය ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම දිරිමත් කිරීමට සහ ඉදිරි දිනයක දී එය බැංකු පද්ධතිය තුළ යාවත්කාලීන කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් ඉල්ලා සිටී.    

36. පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාපිත ආයතනයක අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය කුමක් ද? 

බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වලට අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය ලෙස ආරම්භක පනත් අංකය සහ අනතුරු ව සංස්ථාපිත වර්ෂය භාවිත කිරීමට අවසර ඇත.

උදා:- 2023 අංක 35 දරන පනත යටතේ සංස්ථාපිත ආයතනයක්.

ආයතනයේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය "352023" විය යුතු ය. 

37. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියෙන් (ITRS) බලපත්‍රලාභී බැංකු මගින් ලබා ගත් හඳුනා ගැනීමේ අංකය අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය ලෙස භාවිත කිරීමට හැකි ද? 

පවත්නා දත්ත හිඩැස් සමූහය පියවීම අරමුණු කරගෙන, දේශාන්තර ගනුදෙනු සහ දේශීය විදේශීය මුදල් ගනුදෙනු පිළිබඳ පුළුල් දත්ත රැස් කිරීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකුවල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියේ කොටසක් ලෙස, මෙම පද්ධතියේ නියැලී සිටින ලියාපදිංචි නොවූ ආයතනවලට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටී. ඒ අනුව, ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යටතේ නිකුත් කරන ලද හඳුනා ගැනීම් අංක එම විශේෂිත ආයතනය සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීම් අංකය ලෙස භාවිත කිරීමට අවසර දී තිබේ.  

38. සංගම්, සංසද, සමාජ සහ භාර වැනි ඉහත විධානවල සඳහන් අනෙකත් ආයතන සඳහා ලියාපදිංචිය ලබා දෙන බලධාරීන් සඳහා උදාහරණ මොනවාද?

සංගම් 

1891 අංක 16 දරන සංගම් ආඥා පනත සහ ඉන් පසු ව කරන ලද සංශෝධන ප්‍රකාර ව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව.

පළාත් පාලන

සංසද

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව - 2007 අංක 07 දරන සමාගම් පනතේ 34 වගන්තිය යටතේ සංසද: වාණිජ, කලා, විද්‍යා, ආගම, පුණ්‍ය, ක්‍රීඩා, හෝ වෙනත් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය සඳහා සංසදයක් පිහිටුවීමට නියමිත බවට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සෑහීමකට පත් වන්නේ නම්, සහ එහි ලාභ, ඇත්නම්, හෝ වෙනත් ආදායමක් එහි අරමුණු ප්‍රවර්ධනය සඳහා යොදවන බවට සහ එහි සාමාජිකයන්ට කිසිදු ලාභාංශයක් ගෙවීම තහනම් කරන විට, එම සංසදය ඇපයෙන් සීමිත සමාගම් ලෙස ලියාපදිංචි විය යුතු ය. 

සමාජ

පළාත් පාලන - 1975 අංක 17 දරන සමාජ ශාලා බලපත්‍ර නීතිය සහ ඉන් පසුව කරන ලද සංශෝධන ප්‍රකාර ව, පළාත් පාලන බලප්‍රදේශයක පිහිටා ඇති සමාජ එම පළාත් පාලන අධිකාරියේ ලියාපදිංචි විය යුතු ය. 

භාර

සමාජ සේවා දෙපාර්තමේන්තුව: ස්වේච්ඡා ලියාපදිංචි වැඩිහිටි නිවාස/භාර

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය: රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධිත

සමාගම් රෙජිස්ට්‍රාර්: උදා. ඒකක භාර

පාර්ලිමේන්තු පනත් යටතේ සංස්ථාපිත භාර: ආරම්භක පනතේ අංකය සහ ඉන් පසුව සංස්ථාගත කරන ලද වර්ෂය හඳුනා ගැනීමේ අංකය ලෙස භාවිතා කළ හැකිය.