ණය තොරතුරු

කාර්යක්ෂම ණය වෙළෙඳපොළක් සඳහා පුද්ගලයින් හෝ ආයතන විසින් බැංකු, මුදල් සමාගම් සහ කල්බදු මූල්‍යකරණ සමාගම් යනාදි මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය පිළිබඳ තොරතුරු වැදගත් වේ.  ණයගැතියන්ගේ ණය ගැනීමේ ඉතිහාසය පිළිබඳ ව මූල්‍ය ආයතන සතු වීම මගින් ගනුදෙනුකරුවන්ගේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව වඩා හොඳ තක්සේරුවක් සිදුකිරීමට මූල්‍ය ආයතනවලට හැකි වේ. මෙ මගින් ණය ක්‍රියාවලියේ වියදම සහ කාලය අඩු කරයි.  තව ද, ඒ හරහා ණයගැතියන්ගේ යහපත් ආචාර ධර්ම ප්‍රවර්ධනය කරන අතර ණයගැතියන් සමාගම් කිහිපයකින් අධික ලෙස ණය ගැනීම වළක්වයි. මෙම ප්‍රතිලාභ වඩා හොඳ ණය පරිසරයක් ප්‍රවර්ධනය කරන අතර ස්ථායී හා ශක්තිමත් මුල්‍ය පද්ධතියකට දායක වේ
ඉහත සඳහන් කළ කරුණුවලට පහසුකම් සැලසීම සඳහා ණය දෙන ආයතනවල ණයගැතියන්ගේ ණය තොරතුරු එක් රැස් කිරීම පිණිස 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත  (1995 අංක 8 දරන පනතෙන් සහ 2008 අංක 42 දරන පනතෙන් සංශෝධිත) යටතේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය 1990 වසරේ දී ස්ථාපනය කරන ලදී.  මෙම කාර්යාංශය සතු ව යාවත්කාලීන ව විද්‍යුත් වශයෙන් කළමනාකරණය කරනු ලබන ණය දෙන ආයතනවල ණයගැතියන්ගේ ණය ගැනීමේ ඉතිහාසය පිළිබඳ වාර්තා පවතී.

තවද, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් ආරක්ෂිත ගනුදෙනු රෙජිස්ටරය - Secured Transaction Register පවත්වාගෙන යනු ලැබේ.