නිතර අසනු ලබන ප්‍රශ්න

අප ගැන

ශ්‍රී ලංකා මහ බැංකුව යනු කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. 2023 සැප්තැම්බර් මාසයේ දී සම්මත වූ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් 1950 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කළ 1949 අංක 58 දරන මුදල් නීති පනත අවලංගු විය. මෙම නව පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික පුද්ගලභාවයක් සහිත සංස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවා ඇත. මෙම නව පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකු ස්වාධීන සහ වගකීම්සහගත විය යුතුය. නෛතික පුද්ගලභාවයක් සහිත ආයතනයක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල්, මූල්‍ය සහ ගෙවීම් පද්ධති පරිපාලනය සඳහා වගකිව යුතුය. මහ බැංකු පනතට අනුව, මහා භාණ්ඩාගාර ලේකම් තවදුරටත් මහ බැංකුවේ තීරණ ගැනීමේ කිසිදු ආයතනයක කොටසක් නොවේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන ව්‍යුහය 

පාලන ව්‍යුහය සාමාන්තර තීරණ ගැනීමේ මණ්ඩල දෙකකින් සමන්විත වේ; ඒවා නම්, මහ බැංකු අධිපතිවරයා විසින් නායකත්වය දරනු ලබන, පාලක මණ්ඩලය (පා.ම.) සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය (මු. ප්‍ර. ම.) යි.

අ ) පාලක මණ්ඩලය –ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීමේ වගකීම සහ මුදල් ප්‍රතිපත්තිය හැර ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්තිය නිර්ණය කිරීම.

ආ) මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය –ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීමට සහ පවත්වා ගෙන යෑම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සංයුතිය 

පාලක මණ්ඩලය

මහ බැංකුවේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය හැරුණු කොට, මහ බැංකුවේ පොදු ප්‍රතිපත්තිය නිර්ණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත පැවරී ඇත. පාලක මණ්ඩලය මහ බැංකුවේ අධිපතිවරයා (පාලක මණ්ඩලයෙහි සභාපති විය යුතු පුද්ගලයා), ආර්ථිකය, බැංකුකරණය, මූල්‍යය, ගිණුම්කරණය සහ විගණනය, නීති හෝ අවදානම් කළමනාකරණය සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිත සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. පාලක මණ්ඩලයෙහි ලේකම් මහ බැංකුවෙහි සේවකයෙකු විය යුතු අතර, මහ බැංකු අධිපතිවරයා විසින් නම් කරනු ලැබිය යුතුය. 

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගෙන යෑම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී ඇත. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය සලකා බලමින්, මුදල් සැපයුම, මුදල් ලබා ගැනීමේ හැකියාව සහ මුදල් පිරිවැය නියාමනය කරනු ලැබිය යුතු ය. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මහ බැංකු අධිපති (මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි සභාපති විය යුතු පුද්ගලයා), පාලක මණ්ඩලයෙහි සාමාජිකයන්, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය පිළිබඳ විශේඥයන් දෙදෙනෙකු, මිල ස්ථායිතාව භාර මහ බැංකු නියෝජ්‍ය අධිපති සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගෙන් සමන්විත වේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි ලේකම් මහ බැංකු අධිපතිවරයා විසින් නම් කරනු ලබන මහ බැංකු සේවකයෙකි.