ආචාර්ය සී. අමරසේකර

නියෝජ්‍ය අධිපති

ආචාර්ය අමරසේකර මහතා වසර 22කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට ප්‍රථම, ආචාර්ය අමරසේකර මහතා ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, වෙළෙඳපොළ මෙහෙයුම්, පහසුකම් කළමනාකරණ මෙන් ම සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති තනතුර දැරීය. එමෙන් ම ඔහු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කළේ ය. 

2022 ජනවාරි- 2024 පෙබරවාරි දක්වා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැර සිටියේ ය. 

ආචාර්ය අමරසේකර මහතා මුදල් ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ලබා ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වීමට ප්‍රථම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවට අමතර ව, ආචාර්ය අමරසේකර මහතා මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුවේ, වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුවේ සහ අවදානම් කළමනාකරණ කමිටුවේ ද සමාජිකයෙකු වේ. ඔහු මේ වනවිට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. මීට පෙර ඔහු හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙන් ම ජාතික විද්‍යා පදනමේ විද්‍යා සහ තාක්ෂණ ප්‍රතිපත්ති පර්යේෂණ ක්‍රියාකාරී කමිටුවේ  සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

මුදල් ප්‍රතිපත්තිය සහ අනෙකුත් මහ බැංකු තේමා පිළිබඳ ව ආචාර්ය අමරසේකර මහතාගේ පර්යේෂණ පත්‍රිකා විවිධ ජාත්‍යන්තර සහ දේශීය පර්යේෂණ සඟරාවල පළ වී ඇති අතර, ඒවා පුළුල් පිළිගැනීමකට සහ බොහෝ පර්යේෂක උපුටා ගැනීම්වලට ලක් ව ඇත. එමෙන් ම, ඔහු 2015 - 2020 කාලයේ දී මහ බැංකුවේ පර්යේණ සඟරාව වන මාණ්ඩලික පත්‍රිකා මාලාවේ සංස්කාරක ලෙස ද කටයුතු කළේ ය. ඔහු විවිධ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය සහ බැංකු විදු පියෙස ඇතුළු ව විවිධ අධ්‍යයන හා වෘත්තීය ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකු, විභාග පරීක්ෂකවරයෙකු සහ ප්‍රශ්න විචාරකයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කර ඇත. 

එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත්, එම විශ්වවිද්‍යාලයෙන් ම විශිෂ්ට සාමාර්ථයක් සහිත ව ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ඇති ආචාර්ය අමරසේකර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව ගෞරව උපාධිය ලබා ඇත. එමෙන් ම ඔහු නීතීඥවරයෙකු ද වේ.